ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූ YouTube සූපවේදියා

තායිලන්තයේ Koh Phangan දූපතේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ YouTube සූපවේදියෙකු වන Sancho Bronchalo හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඔහු එරට නළුවෙකුගේ පුත්‍රයෙකු ද වන අතර Bronchalo විසින් ඝාතනයට ලක් කර තිබුණේ කොලොම්බියානු ජාතික ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුයි.

එම වෛද්‍යවරයා ඝාතනය කර ඔහුගේ සිරුර කපා සඟවා තැබීම සම්බන්ධයෙන් වූ චෝදනාවට Sancho Bronchalo වරදකරු කර තිබෙනවා.

පසුගිය වසරේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර Bronchalo නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටි අවස්ථාවේදීයි ඝාතනය සිදුකර තිබුණේ.

ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා විසින් තමාට ලිංගිකව හැසිරීමට බල කිරීම හේතුවෙන් සිය ආත්මාරක්ෂාව සඳහා කටයුතු කළ අවස්ථාවේ ඔහු නාන තටාකයට වැටීමෙන් හිස වැදී සිහිය නැති වීමෙන් මියගිය බව Sancho Bronchalo අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමාට එරෙහිව එල්ල වන මිනීමැරුම් චෝදනාව ප්‍රතික්ෂේප කරන නමුත් මිය ගිය වෛද්‍යවරයාගේ සිරුර කොටස් කර බැහැර කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව පිළිගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් Bronchalo විසින් අදාළ මරණයට පෙර වෙළඳසැලකින් පිහියක්, රබර් හිස් වැසුමක්, කුණු බෑග් සහ පිරිසිදු කිරීමේ උපකරණ මිලදී ගත් බව දැක්වෙන වීඩියෝවක් පොලිසිය විසින් ලබාගෙන ඇති අතර ඒ අනුව මෙය සැලසුම් සහගතව සිදු කරන ලද ඝාතනයක් බවට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.