වසර පහ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී කාලයයි-රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතියේ අනාගත න්‍යාය පත්‍රයයි

– අසීරුවෙන් ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් රටත් රැක ගනිමු
– ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රධාන මූලධර්ම පහක් ඇතුළත්
– තරුණ පරපුරට රැකියා අවස්ථා ලක්ෂයක්
– දූෂණයට එරෙහි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කමිටුවක්
– පාසල් හැරගිය 50,000කට කාර්මික පුහුණුවට කඩිනම් ප්‍රතිපාදන

‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජනපති රනිල් කියයි

කතා කරමින්, තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ දමනවා ද නැත්නම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “පුළුවන් ශ්‍රී ලංකා” ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කරමින් පැවසීය.

වහා ක්‍රියාත්මක වීම, “පුළුවන් ශ්‍රී ලංකා“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණ බවත් දැනට පවතින රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ස්ථාවර කිරීමට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමෙන් හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී “පුළුවන් ශ්‍රී ලංකා“ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජනාධිපතිවරයා ඊයේ (29) මේ බව කියා සිටියේය. බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීම සිදුකෙරිණ.

තරුණ පරපුරේ අනාගතය බලගැන්වීම සංකේතවත් කරමින් තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති සටහන ලබාදී, තරුණ පිරිසට වේදිකාවට ආරාධනා කරමින් ජනාධිපතිවරයා දේශනය කිරීම විශේෂත්වයක් විය.

තමා රටට පොරොන්දු වන්නේ ලබාදිය හැකි දේ පමණක් බවත් කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නැති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 තුළ ද රට වෙනුවෙන් තම උපරිමය ඉටු කර තරුණ පරපුර වෙනුවෙන් ණය බරින් නිදහස් සංවර්ධිත, දියුණු රටක් උරුම කර දෙන බව අවධාරණය කළේය.

ජීවන බර අඩු කිරීම, රැකියා ලබාදීම, බදු සහන ලබාදීම, ආර්ථික ප්‍රවර්ධනය සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සෑම පුරවැසියකුටම ඉඩමක සහ නිවෙසක අයිතිය හිමි කර දීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

“ථේරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මවුබිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා”යන ප්‍රධන මූලධර්ම 05කින් සමන්විත “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙහිදී ජනාධිපතිවරයා මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් වෙත ද පිළිගැන්විණ.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත් www.ranil2024.lk වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

“මෙම අවස්ථාවට එක්වීම පිළිබඳ මම පළමුව ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. මම ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. හදිසි අවස්ථාවක අප රට භාරගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ගමන් සිදු කරන ව්‍යාපෘති සියල්ල මෙහි ඇතුළත් වෙනවා. අනෙක් අපේක්ෂකයන් වසර ගණනක් ගතවන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා මම දුටුවා. නමුත් මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වහාම ක්‍රියාත්මක කළ හැකි යෝජනා බව කිව යුතුයි. අප සිටින්නේ ආර්ථික වශයෙන් අර්බුදකාරී යුගයකයි. 2022 වසරේ රටේ සිදු වූ අර්බුදය නිසා ආණ්ඩුව භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. මෙහි සිටින්නේ එම අභියෝගය භාරගත් පිරිසයි. අප 2023 වසර වන විට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර තිබෙනවා. ඒ වගේම එම ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. එම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර, ආරක්ෂා කිරීමට අප අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එම රාමුව තුළ අප වැඩ කරනවා. විවිධ පොරොන්දු ලබාදී නැවත ආර්ථිකය බිඳ දැමීමට අපට අවශ්‍ය නැහැ.

දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්හි උදාහරණ අද අපට දක්නට තිබෙනවා. බංග්ලාදේශය සහ මාලදිවයිනේ මේ තත්ත්වය දක්නට ලැබෙනවා. 2022 වසරේ ඇති වූ තත්ත්වය නැවත අපේ රටේ ඇති කරගතහොත් තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. අපට තිබෙන්නේ මේ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන ගොස් රටේ ආර්ථික පරිවර්තනයක් සිදු කරන වැඩපිළිවෙළට යෑමටයි. තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් අප එම නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. අප පසුගිය වසර දෙක තුළදී මේ රටට ලබාදී ඇති ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට නම් අපනයන ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මෙය වෙනස් කිරීමට අවශ්‍ය නැහැ. අපට ගිවිසුම් තිබෙනවා. මෙම ගිවිසුම් අනුව ක්‍රියා කළ යුතුයි. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඇති කරගත් එක ගිවිසුමක් තිබෙනවා. ශ්‍රී ලංකාව සහ අපට ණය ලබා දුන් නිල ණය හිමියන්ගේ කමිටුවට අයත් රටවල 17ත්, චීනයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් අතර ඇති කරගත් තවත් ගිවිසුමක් තිබෙනවා. අප ක්‍රියා කළ යුත්තේ මෙම ගිවිසුම් රාමුව තුළයි. මෙම රාමුව තුළ ක්‍රියා කිරීමට තමන් සූදානම් ද කියා මම අනෙක් අපේක්ෂකයන්ගෙන් අහන්න කැමැතියි. මේවා සංශෝධනය නොකර ක්‍රියාත්මක කිරීමට කැමැති ද කියා මම අහනවා.

ඊට අමතරව මෙම රාමුව තුළ ආණ්ඩුව ලෙසත් ජනාධිපතිවරයා ලෙසත් මට මූලික පරමාර්ථ කිහිපයක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ යම් මූලධර්මයන් තුළයි. එම මූලධර්මයේ මූලික කාරණය වන්නේ ථේරවාදි වෙළෙඳ ආර්ථිකය. අනුරාධපුර රාජධානිය සමයේ අපට විශාල වෙළෙඳ ආර්ථිකයක් තිබුණා. රජරට රාජධානිය කඩා වැටුණු අවස්ථාවේදී තවත් ථේරවාදි රටක් වූ තායිලන්තයේ අයෝධ්‍යා රාජධානිය ඇති වුණා. එම යුගයේ අප කෙතරම් දියුණු වුණා ද කිව්වොත් අනුරාධපුරයේ සියලු වැව් ඉදි කළේ අපේම මුදලින්. මහවැලිය කිරීමට පමණක් විදේශ ආධාර ගැනීමට සිදු වුණා. එම වෙනසයි අද තිබෙන්නේ. අපේ ථේරවාද වෙළෙඳ ක්‍රමය අද තායිලන්තයේ ක්‍රියාත්මක වෙනවා. වියට්නාමයේ ක්‍රියාත්මක වෙනවා. අපත් සම්පූර්ණයෙන් එය ක්‍රියාත්මක කරන බව මෙහි යෝජනා කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ මේ රටේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. ඒ පිළිබඳ මට වඩා හොඳට ඔබ දන්නවා. ඒ නිසා ආර්ථිකය දියුණු වන අවස්ථාවේදී එම වාසිය ජනතාවට ද හිමි විය යුතුයි. ඒ වාසිය ලබා ගැනීම වෙනුවෙන් අප ජනතා අංශය ආරම්භ කර තිබෙනවා. අද උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දෙනවා. කොළඹ රජයේ මහල් නිවාසවල ජීවත් වන ලක්ෂ දෙකහමාරකට නිවාස අයිතිය හිමි වෙනවා. ඒ වගේම වතුකරයේ ජනතාවට ගම්මාන සහ නිවාස හිමි වෙනවා. මෙලෙස අයිතිය ව්‍යාප්ත කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ රටේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදි කර ගැනීමට සහනාධාර ක්‍රමයකට අප ණය ලබාදෙනවා. මධ්‍යම පන්තියේ ජනතාවටත් ඒ ආකාරයෙන් ණය ලබාදීමට අපේක්ෂා කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජනතා ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වෙනවා. මෙම අය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 50ක් ලබා දී තිබෙන අතර ඉතිරි ප්‍රතිපාදන ද ලබාදීමට අපේක්ෂා කරනවා.

තුන්වැනි කාරණය වන්නේ දේශගුණික විපර්යාසයි. අපේ ආර්ථික ක්‍රියාදාමය වන්නේ දේශගුණික විපර්යාස අවම කර ගනිමින් කටයුතු කිරීම. ඒ වගේම ප්‍රධාන කරුණු 05ක් මෙහි ඇතුළත් වෙනවා. පළමුවැන්න ජීවන බර අඩු කිරීම. අප ජීවන බර අඩු කරන්නේ රුපියල සහ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළයි. දෙවැන්න රැකියා ලබාදීමයි. තුන්වැන්න බදු සහන ලබාදීමයි. සිව් වැන්න ආර්ථික ප්‍රවර්ධනයයි. අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරනවා. ඒ වගේම උරුමය සහ අස්වැසුම වැඩසටහන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා. මේ අනුව දැන් අප වැඩ කළ යුතුයි. අප කතා කර කර සිටිය යුතු නැහැ. අලුත් ප්‍රතිපත්ති ගෙනැවිත් වාද කිරීමට අවශ්‍ය නැහැ. අලුත් ප්‍රතිපත්ති ගෙනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරමින් කාලය ගත කරනවා ද? එදා ජනතාව විඳි දුක අප අමතක කළ යුතු ද? මම අහන ප්‍රශ්නය එයයි. ඒ නිසා පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ සම්පූර්ණ වැඩසටහන ඇතුළත් වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ මෙන්ම කඩිනමින් ආරම්භ කළ හැකි වැඩසටහන් එහි ඇතුළත් කර තිබෙනවා.

ජනතාවට සහන ලබාදෙමින් අප ඉදිරියට යා යුතුයි. එහිදී අප කෘෂි නවීකරණ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරනවා. එහි මූලික වැඩකටයුතු මේ වන විට සිදු කර අවසන්. එම කටයුතු අපට වහාම ආරම්භ කළ හැකියි. සංචාරක ව්‍යාපාරය මිලියන 05 දක්වා වර්ධනය කර ගැනීමේ කටයුතු ද අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. අපට දැන් තිබෙන්නේ මේ වැඩ කටයුතු අවසන් කිරීමයි. කිරි නිෂ්පාදනය ලීටර මිලියන 380 සිට ලීටර මිලියන 820 දක්වා වැඩි කිරීම සිදු කරනවා. ඒ වගේම කර්මාන්ත නිෂ්පාදනය, ආයෝජන කලාප ඇති කිරීම අප මේ වන විට සිදු කරනවා. බිංගිරිය, උතුර සහ හම්බන්තොට ඒ වෙනුවෙන් හඳුනාගෙන තිබෙනවා. අප මේ කටයුතු සඳහා සූදානම්ව සිටිනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය මෙරට ප්‍රධාන ආර්ථික අංශයක් බවට පත් කරනවා. එපමණක් නොවෙයි ඩිජිටල්කරණය පිළිබඳ නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ඒ වගේම ප්‍රධානම කොටස වන්නේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ඇති කිරීමයි. අවුරුදු 04ක් රැකියා ලබාදීමට නොහැකි වුණා. අප දැන් දියුණු වන විට රැකියා අවස්ථා ලැබෙනවා. නමුත් ඒ වැඩ කටයුතු වෙනුවෙන් වසර 03,04ක් ගත වෙනවා. නමුත් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබාදෙන අතර නවීන කෘෂි කර්මාන්තය සඳහා යොමු වන අයට මුදල් ලබා දෙනවා. ඇතැමුන් සංචාරක ව්‍යාපාරයට කැමැතියි. පුහුණුවීම තුළින් එවැනි අවස්ථා උදා කළ හැකියි. ඒ වගේම රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට අප කටයුතු කරනවා.

පාසල් හැර යන තරුණ තරුණියන් 50,000කට අප මුදල් ලබාදෙනවා. ඒ වවුචර්පත හිමි සිසුවාට එය අරගෙන තමන් කැමැති ඕනෑම ආයතනයකට ගොස් තමන්ට කාර්මික පුහුණුව ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. අප මෙම වැඩසටහන හෙට අනිද්දාම ක්‍රියාත්මක කරනවා. අනිත් අය තරුණ තරුණියන් ගැන කතා කළත් කවුරුත් රැකියා දෙනවා කියලා කියන්නේ නැහැ. එම වැඩ කටයුතු වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන පරිවර්තනයකට ලක් කර නව ආයතනයක් ඇති කරනවා. ඒ වගේම පාසල් මණ්ඩල ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. හිඟුරක්ගොඩට ගුවන්තොටුපොළක් ලබාදීම, වතුකරයේ ගම්මාන ඇති කර නිවාස ඉදිකිරීම ආරම්භ කරනවා. අද සියලුදෙනා හොරු අල්ලන එක ගැන කතා කරනවා. නමුත් ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. හොරු අල්ලන පනත් ගෙන එන්නේ අප. විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව න්‍යාය පත්‍රය සකස් කර ඇතැම් නීති ගෙනැවිත් තිබෙනවා, අනිත් ඒවා මේ වන විට සකස් කරගෙන යනවා. තවත් ගෙන එනවා. ඒ පිළිබඳ අනෙක් අය කතා කරනවා. අප ක්‍රියා කරනවා. මේ සංවිධානවල සිටින නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට මම කමිටුවක් පත් කරනවා.

කථානායකවරයාගේ සහ වෘත්තීයවේදීන්ගේ සංගමයට සහ නීතිවේදීන්ගේ සංගමයටත් වෙළෙඳ සංගමයටත් ඒ සඳහා නියෝජිතයකු බැගින් පත් කරන ලෙස කියනවා. අවශ්‍ය නම් රජයේ නියෝජිතයකු ද මේ සඳහා පත් කළ හැකියි. ඒ නිසා අප හොරු ආරක්ෂා කරනවා කියලා කාටවත් කියන්න බැහැ. කතා කරන්න ලේසියි. අනිත් අය කළේ හැමදාම කතා කරන එක විතරයි. ඒ වගේම කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කරනවා. හොඳ පාඨමාලාවක් හැදෑරීමට රජයේ සේවකයන්ට වසරක නිවාඩුවක් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති හා කළමනාකරණ විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. කඩිනමින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන් ගණනාවක් තිබෙනවා.

අප බලන්නේ 2048 දෙසයි. 2048 සියලුදෙනාටම හොඳ අනාගතයක් ලබාදීම අපේ අරමුණ වෙනවා. අප ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා. වෙන කවුරුත් එය කරන්නේ නැහැ. ඒ නිසයි අපට පුළුවන් කියන්නේ. අනිත් අය බැහැ කියද්දි අප පුළුවන් කිව්වා. ඒ නිසා අද මෙතැනට එන්න පුළුවන් වුණා. පුළුවන් කියන අය සමඟ අප ඉදිරියට යා යුතුයි. මෙය ඉතා පහසුයි. ඔබ ස්විච් එක දාන්න. අප ඊළඟ දවසේ සිට වැඩ කරන්න සූදානම්. රට වෙනුවෙන් අපි ඉදිරියට යමු. සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ස්ව්චි එක දමන්න. 22 වැනිදා සිට නියත වශයෙන්ම අප යළිත් වැඩ ආරම්භ කරනවා.”

මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් ද වෘත්තීය සංගම් නියෝජිතයන් ද ඇතුළු පාක්ෂිකයෝ පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත මහා සංඝරත්නයට පිරිනමන අයුරු ඡායා­රූප - මාලන් කරු­ණා­රත්න