මියන්මාරයේ සිර කරගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

මියන්මාරය සහ තායිලන්තය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 55 දෙනා අතරින් 28 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

අනෙක් පිරිස ද කඩිනමින් මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටින මෙරට විශ්‍රාමික රණවිරුවන්ගෙන් 70 දෙනෙකු පමණ නැවත මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත් වූ අතර ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ලබා ගැනීමටද මැදිහත් වූ බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව සංචාරක වීසා මත ඩුබායි, ඕමාන් වැනි රටවලට ගොස් අසරණ වී සිටි පිරිස්ද ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ අතර මෙවන් කටයුතු සඳහා අනිවාර්යයෙන්ම නිවැරදි විදේශ ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය සාධකයක් බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

කිසිඳු දේශපාලන බලපෑමකින් තොරව විදේශ සේවයට එම කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට අවස්ථාව සළසා දී ඇති බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, මෙරට විදේශ ප්‍රතිපත්තියේ උපරිම ප්‍රයෝජන ගැනීමට අපට හැකි වී ඇති බව සඳහන් කළා.