බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක අභිරහස් ලෙස මිය යයි

බංග්ලාදේශයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියකගේ සිරුර ඩකා හි පිහිටි හටිර්ජිල් වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවන සාරා රහනුමා වන ඇය අදාළ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදිනියක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඇයගේ මළ සිරුර සොයා ගැනීමට පෙර දිනයේදී ෆේස්බුක් පණිවිඩයක් ද පළ කර තිබූ බව සඳහන්.

එහි සඳහන් කර ඇත්තේ “ඔබ වැනි මිතුරෙකු සිටීම සතුටක්. දෙවියන් වහන්සේ ඔබට සැමවිටම ආශීර්වාද කරයි. ඔබ ඔබේ සියලු සිහින ඉක්මනින් ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම දන්නවා අපි ගොඩක් සැලසුම් කළා. සමාවෙන්න, අපේ ඉටු කරන්න බැහැ. සැලසුම් ඔබගේ ජීවිතයේ සෑම අංශයකම දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි” යනුවෙනුයි.

මියගිය මාධ්‍යවේදිනියගේ ස්වාමිපුරුෂයා විසින් ඇය රැකියාවට ගොස් ආපසු නිවසට නොපැමිණි බවට පොලිසිය වෙතද දැනුම් දී තිබූ බව සඳහන්.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් අදහස දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙය බංග්ලාදේශයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක් ලෙසයි.