රට ආපස්සට සහ අඳුරට ගෙන යන යෝජනා ඉදිරිපත් නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි යෝජනා ඉදිරිපත් කිරීම සියලු ජනාධිපති අපේක්ෂකයන්ගේ වගකීමක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් මෙසේ අත්හදා බැලීම් කිරීමට යෑමෙන් වන්නේ රටේ සියලුම දෙනා පීඩාවට පත්වීමක් බවද ඇමැතිවරයා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැතිව මේ අපේක්ෂකයන් කියන දේවල් අනුව එක දෙයක් පැහැදිලියි. ඒ තමයි ඒ අය IMF අනුව යන්නේ නැහැ. එතකොට නැවතත් ඇතිවන ප්‍රතිඵලය මොකද්ද? ඉතාමත්ම භයානක ප්‍රතිඵලයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඩොලර් මිලියන 20ක් පමණ තිබුණු විදේශ සංචිතය දැන් 6000කට ආසන්න වෙලා තිබෙනවා. ඒ ටික ඉවර වෙනකම් යන්න පුළුවන්. අපි 17 වතාවක් IMF එකත් එක්ක කටයුතු කර ඉවත් වෙලා තිබෙනවා. මේ කාට හරි බලය යනවා කියන්නේ 18 වැනි වතාවටත් IMF එකෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එතකොට ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අපේ රට වගේ රටවල්වලට අවසාන ණය දෙන IMF එක ණය දෙන්නේ නැති වෙනකොට, උදව් උපකාර නැති වෙනකොට, ණය ආධාර රටවල් සමඟ නැති වෙනකොට රට දුවන්න බැහැ. ඉතුරු කරගත්ත ඩොලර් මිලියන 6000ක විතර ප්‍රමාණයෙන් තෙල් ටික ගේන්න සහ බෙහෙත් ටික ගේන්න වගේ දේවල්වලට මාස 6ක් 7ක් වගේ භාවිත කරන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ මොකද වෙන්නේ. අපේ රටට නැවතත් විදේශ විනිමය නැති වෙනවා. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ගොවීන් පාරට බහින යුගයක්, පැය 12ක් 13ක් විදුලිය කප්පාදු කරන යුගයකට තමයි යන්න වෙන්නේ. රට ආපස්සට සහ අඳුරට ගෙන යන යෝජනා ඉදිරිපත් කරන්නේ නැතිව මේ වෙලාවේ සියලුම අපේක්ෂකයන්ට වගකීමක් තිබෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න. එක කණ්ඩායමක් කියනවා IMF ගිවිසුම සංශෝධනය කරනවා කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කරන දෙයක් නම් සංශෝධනය කරන්න පුළුවන්. නමුත් මේ දේවල් පාර්ලිමේන්තුවට දාලා අනුමැතිය අරන් රජයක් විදියටයි අත්සන් කර තිබෙන්නේ. ඒක සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. තවත් කට්ටියක් කියනවා වැට් එක අඩු කරනවා සහ නැති කරනවා කියලා. ඒ කියන්නේ කෙළින්ම නොකියා කියන්නේ අපි IMF එකෙන් අයින් වෙනවා කියලා. අත්හදා බැලීම් කරන්න ගිහින් රටේ මුළු ජනතාවටම පීඩාවට පත් වෙන්න සිදු වේවි.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අපේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති ප්රමුඛ කැබිනට් මණ්ඩලය වැදගත් තීරණ කිහිපයකට අනුමැතිය හිමිවුණා. 2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීම ඉන් පළමු වැන්නයි. මේ පොහොර සහනාධාර මුදල මේ යල කන්නයේදී රුපියල් 10,000ක් වශයෙන් ලබාදුන් අතර ලබන මහ කන්නයේ සිට ඒ මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය වුණා. ලබන මහ කන්නයේදී වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බණ්ඩි පොහොර ප්‍රමාණයම නොමිලේ ලබාදීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලේ හිමිවෙනවා යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.