රබර් වගාවටත් පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කළ කරුණු පෙන්වා දීමකදී වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති බව අනාවරණය වී තිබෙන බව සඳහන්.

මෙය සැළකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට වී වගාව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් විශාල පොහොර සහනාධාරයක් ලබා දී ඇති අතර ඊට අමතරව තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දිමට රජය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රබර් වගාව සඳහා ද එම පොහොර සහනාධාරය වගාකරුවන්ට ලබා දීමට රජය පියවර ගත් බවයි වැඩිදුර අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ.