ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් ලක්ෂ 4ක දඩයකුත් ගහයි

හදිසි ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීම සඳහා විදේශ ආධාර ලෙස ලැබුණු රුපියල් කෝටි 2ක් පමණ වටිනා වාහනයක් අයථා ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ (27) බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබීය.

මීට අමතරව රුපියල් ලක්ෂ 4ක මුදලක් දඩ ලෙස රජයට ගෙවීමට විත්තිකරුට නියම කළේය.

2010 වසරේ අගෝස්තු 14 වැනිදා හා 2015 වසරේ ජනවාරි 20 වැනිදා අතර කාලය තුළදී ආපදා කළමනාකරණ ඇමැතිවරයා හැටියට කටයුතු කරමින් ලක් රජයට පාඩු කළේයැයි යන චෝදනාව මත අබ්දුල් හමීඩ් මොහාමඩ් ෆවුසි යන අයට විරුද්ධව නඩු පවරා තිබේ.

ඉන්පසු නීතිපතිවරයා විසින් 2022 වසරේ නොවැම්බර් 02 වැනිදා අධි චෝදනා 4ක් යටතේ චෝදනා ගොනු කළේය. ආපදා කළමනාකරණ ඇමැතිවරයා හැටියට කටයුතු කරමින් නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබුණු කෝටි 2ක් පමණ වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක් තමා වෙත මුදා හරින ලෙස අමාත්‍යාංශ ලේකම්වරිය පොළඹව ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන්වේ. 2018 අංක 22 හා 1994 අංක 20 දරන පනත්වලින් සංශෝධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අධිචෝදනා 4ක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.

නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම ගැන සලකා බලන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිනොගත් අල්ලස් කොමිසම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කළේය.

හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉන්පසු වරද පිළිගන්නා බව අධිකරණය දන්වා සිටියේය. විත්තිකරුගේ වයෝවෘද්ධභාවය හා මුල් අවස්ථාවේම වරද පිළිගැනීම මත අත්හිටුවූ සිරදඬුවමක් නියම කිරීමට අධිකරණය නියෝග කළේය. නීතිඥ නටාෂා විජේසේකර මෙනෙවිය සමඟ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.