රබර් වගාවේ පැතිර යන රෝගයක් සඳහා කළ රසායනික අත්හදා බැලීමක් සාර්ථක වෙයි

රබර් වගාවේ පැතිර යන නව පත්‍ර පුල්ලි රෝගය සඳහා පළමුවරට කළ රසායනික අත්හදා බැලීමක් 80% කින් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා.

මෙම පත්‍ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොණරාගල හා අම්පාර ප්‍රදේශවලට ද පැතිර ගොස් ඇති අතර වාර්ෂික රබර් කිරි අස්වැන්න 10% කින් අඩුවීමට මෙම රෝගය ඇතුළු කරුණු ගණනාවක් බලපා ඇති බවයි රබර් පර්යේෂණායතනය පවසන්නේ.

දිලීරයක බලපෑමක් හේතුවෙන් මෙම රෝගය රබර් ගසේ පත්‍රවලට වැළඳෙන අතර රබර් ගසේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මේ නිසා අකර්මණ්‍ය වන බව සඳහන්.

කෙසේ වුවද මෙම රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ 10කට වැඩි සංඛ්‍යාවකින් එක් රසායනික පර්යේෂණයක් 80%ක සාර්ථකත්වයක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පර්යේෂණය මේ වනවිට ක්ෂේත්‍රය තුළ අත්හදා බලා ඇති අතර එය ලබන වර්ෂයේ දී මෙරට රබර් වගාව සඳහා සියලු රබර් වගා කරුවන්ට ලබා දීමට පියවර ගන්නා බව වාර්තා වනවා.