මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දුප්පත් රටක කටුක ජීවිතයක් වෙත ගමන් කරන මාර්ගයක්-මුදල් ප්‍රවාහය අස්ථාවර කර රට 2022 තත්ත්වයට ගෙන ඒමට කරන උත්සාහයක්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජීවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට ඊයේ (26) එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහපොළොව තුළ යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් පමණක් බවත් එය ජනතාව රැවටීම සඳහා භාවිත කරන ලද ලස්සන වචන මාලාවක් වන අතර හිස් වැඩසටහනක් බවත් ඒ මහතා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

දේශපාලන පක්ෂ රට ඉදිරියට ගෙනියන තමන්ගේ ප්‍රතිපත්ති එළිදක්වමින් ජනතාව බලන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහපොළොව යථාර්ථයක් නොවන පැතුම් මල්ලක් විතරයි. කියන්න කනගාටුයි. ඒ අය විවිධ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කියනවා. දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය ක්‍රියාත්මක නොකළ දෙයක් තියෙනවාද කියලා මම බැලුවා. මේ තරම් කොපි කරලා, අනුන් කරන දෙයක් තමන්ගෙ දෙයක් හැටියට හුවා දක්වන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ බංකොලොත් වුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙන් අපි දැනට කරගෙන යන සියලු දේ සඳහන් වෙනවා. ලෝකයේ හැම රටක්ම බලාපොරොත්තු වෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක්. දැන් හොඳ ජීවිතයක්, ලස්සන රටක් හදන්න යන්නේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු කණ්ඩායම.

1971 ඉඳලා ජනතාව පොහොසත් වෙනවට, හොඳ ආර්ථිකයක් සහිත රටක් බවට පරිවර්තනය වෙන්න ඉඩක් නොතිබ්බේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අය කඩාවැටුණු ආර්ථිකයක් රටේ නිර්මාණය කරන්න දායක වුණා. 2022 සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කරලා ණය හිමියන් සමඟ ණය ගෙවන්න පුළුවන්, කොන්දේසි සහිත පිළිගන්න පුළුවන් වැඩපිළිවෙළකට ඇතුළත් වුණා. 1971, 88 – 89 යුගයේ වගේම 2022 අරගල කාල පරිච්ඡේදයේ ආර්ථිකය කඩාවට්ටන්න උපරිම උත්සාහ කරලා, ජනතාවට අසීරු කාලපරිච්ඡේදයක් හදන්න දායක වුණා. පාර්ලිමේන්තු ගිනි තියල, ඒ අමාරුකම් ඉදිරියට ගෙනියන්න බැලුවා. එහෙම කරගන්න බැරි වුණාම පාර්ලිමේන්තුව ඇතුළේ ඔවුන්ගේ නියෝජිතයින් තුන්දෙනෙක් මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පරාජය කරන්න පුළුවන්ද බැලුවා.

හැබැයි ඔවුන් අද පිළි අරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිය සහ අපේ රජය අනුගමනය කරපු වැඩපිළිවෙළ හරි කියලා. මොවුන් යෝජනා කරනවා ආදායම් බදු නිදහස් සීමාව වැඩි කරන්න. බදු නිදහස් සීමාව වැඩි කරලා රටේ බදු ආදායම අඩු කරලා, නැවත 2022 ඇතිවුණු අර්බුදයට රට ගමන් කරවන්නයි මේ හදන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන රාමුව තුළ යම් වෙනසක් සිදු වෙනවා නම්, බදු කපා හැරීමක් වෙනවා නම්, ආසන්න වශයෙන් මෙතනම අවම වශයෙන් රුපියල් බිලියන 65ක ආදායමක් රජයට අහිමි වෙනවා. මේ ආදායම නැවත අය කරගන්න විකල්ප ක්‍රියාමාර්ග සඳහන් වෙන්නේ නෑ.

මේ රටේ බදු ප්‍රතිපත්තියත්, රාජ්‍ය ආදායම සම්බන්ධ ප්‍රතිපත්තියත් එකට ගමන් කළ යුතුයි. අපේ රටේ රාජ්‍ය ආදායම වැටෙන්නේ 8.2% දක්වා 2022 කඩා වැටීම තුළ ආර්ථිකය 7.8% හැකිළුණා. ඒ හැකිළුණු ආර්ථිකය නැවත ප්‍රසාරණය වෙන්න කාර්තු හයක් ගත වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, අපිට ණය දුන් රටවල සහය ඇතිව රට මෙහෙයවලත් සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න කාර්තු හයක් ගත වුණා. මේ නැවත යෝජනා කරන්නේ ධන වූ ආර්ථිකය සෘණ ආර්ථිකයක් කරා ගෙන යන්නද? ඒ නිසයි මේක පැතුම් මල්ලක් විතරයි කියන්නේ . ඒ අය හිතනවා ලස්සන වචන දාපුවාම මේ රටේ ප්‍රශ්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ජනතාව රැවටීම සඳහා භාවිත කරපු වචන මාලාවක් මෙතන තියෙන්නේ. හිස් වැඩසටහනක් සහ ජනතාව රවටන වචන මාලාවක්.

ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරද්දී, ඒකෙන් රටේ ජනතාව පීඩාවට පත් නොවන අය-වැය ලේඛනයක් ඉදිරිපත් කරන්නයි මම යෝජනා කළා. මේ හැම ප්‍රතිපත්තියක්ම අවසානයේ රටේ මුදල් ප්‍රවාහයට බලපෑමක් කරනවා. එහෙම වුණොත් රාජ්‍ය සේවකයා වැටුප් ගෙවන්න බැහැ. ගොවියාට පොහොර සහනාධාරය දෙන්න බැහැ. විශ්‍රාම වැටුප දෙන්න ක්‍රමයක් නැහැ. ආබාධිත, වැඩිහිටි, වකුගඩු දීමනා දෙන්න බැරි වෙනවා. අධ්‍යාපනය පවත්වාගෙන යන්න බැරි වෙනවා. සෞඛ්‍ය අංශය පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒකට හේතුව ඊට ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් භාණ්ඩාගාරය සතු නොවීමයි. නැවත ගමන් කරන්නේ මුදල් ප්‍රවාහය සම්පූර්ණ අස්ථාවර කරලා 2022 පැවතුණු තත්ත්වයට ගේන්න.

මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් සමාලෝචනයකට යනවලු. අලුත් යෝජනා ඉදිරිපත් කරලා වියදම් කළමනාකරණයක් සිදු කරනවාලු. මේ මොකක්ද කියන්නේ. වැඩසටහනක් නැතුව ඔවුන් නිතරම කියන සංශෝධනයකට සාකච්ඡා කරනවා කියලයි කියන්නේ. මෙවැනි සාකච්ඡාවකට එන්න පුළුවන් පදනමක්වත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය දන්නවද කියන එක ප්‍රශ්නයක්.

ණය තිරසරභාවය පවත්වා ගැනීම ගැනත් ඔවුන් කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විශ්ලේෂණය සකස් කරන්නේ අඩු ආදායම් තිබෙන රටවලට ක්‍රමවේදයත්, මැදි ආදායම් රටවලට අනුගමනය කරපු ක්‍රමවේදයකුත් තියෙනවා. මැදි ආදායම් ක්‍රමය අනුගමනය කරපු පළමුවෙනි රටත් ශ්‍රී ලංකාව. ඒ අනුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන ඉලක්ක කිහිපයක් ලබාදෙන්නේ. 2032 වන විට රාජ්‍ය ණයබරතාවය 128% සිට 95% දක්වා අඩු කර ගැනීම එකක්. දළ මූල්‍යයන අවශ්‍යතාවය 34.6% සිට 13% ට අඩු කර ගැනීම. විදේශීය ණය සේවාකරණය 9.6% සිට 4.5% දක්වා අඩු කර ගැනීම. යෝජිත පැතුම් මල්ලේ මේ ඉලක්ක සම්පූර්ණ කර ගන්න වැඩපිළිවෙළ මොකක්ද?

මේ ණය තිරසරභාවය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරලා එකඟතාවයන්ට ඇවිත් ක්‍රියාත්මක කරමින් පවතින මොහොතක්. රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ගැන ඔවුන් කතා කරනවා. ආණ්ඩුවේ හැමදේකම කකුලෙන් ඇදපු එක තමයි කළේ. ඔවුන් දන්නේ නැතුව ඇති දැනටමත් ලෝකය පිළිගන්න රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා අවසන්. ණය කළමනාකරණ ඒජන්සිය ක්‍රියාත්මක කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි සකසමින් ඉන්නේ.

දේශීය, විදේශීය වෙළඳාම සම්බන්ධයෙනුත් කතා කරනවා. විවිධ අංශවලින් තොරතුරු ගත්තේ කියලා ඒ අය කිව්වත් එහෙම දෙයක් වෙලා නැහැ.

මේ තොරතුරු අරගෙන තියෙන්නේ මීට මාසෙකට විතර කලින්. නැවත මේ රට කඩා නොවැටෙන ජාතික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කළා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත නමින්. මේ තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මම කියපු ප්‍රධාන ඉලක්ක තුනයි, නැවත රට කඩා නොවැටීමට අවශ්‍ය වැඩසටහන පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත්කළා. ඒ නීතිය ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරලා තියෙනවා. අනුන්ගේ දේවල් කොපි කරලා රටක බලය ඉල්ලන්නේ කොහොමද?

ඔවුන් රාජ්‍ය ව්‍යවසායන් ගැනත් කියනවා. මේවා ප්‍රතිව්‍යූහගත කරද්දී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් සේවකයෝ පාරට බස්සලා, පාරවල් වැහුවා, ජනතාවට සහන ලබාදීම වැළැක්වුවා. අද රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය අනුමත කරලා. කඩා වැටුණු රටක් ශක්තිමත් ආර්ථිකයක් හිමි රටක් බවට පත්කරන්න රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ නැවත සනාථ කිරීමක් ඔවුන් කර තියෙන්නේ යැයි පැවසීය.