අපේ ආණ්ඩුවක් යටතේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වනවා

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම සඳහා තම ආණ්ඩුවක් යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය.

එම පරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදුවිය යුතු අතර මෙතෙක් ක්‍රියාත්මක කළ පරීක්ෂණයන්ට අදාළ වාර්තා පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කොට අනාගතයේ දී එවැනි අන්තවාදී ක්‍රියාවන් සිදු නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම ද මෙම විශේෂ ඒකකයට අයත් වන බව ද ඒ මහතා කීවේය. එළඹෙන 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් කුරුණෑගල නිකවැරදි ප්‍රදේශයේදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දී නොයෙක් අදහස් ඉදිරිපත් කෙරුණ ද ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා තම ආණ්ඩුවක් යටතේ පිහිටුවන විශේෂ විමර්ශන ඒකකයට අන්තවාදී ක්‍රියාකලාපයන් හඳුනා ගැනීම සහ පුනරුත්ථාපන කටයුතු බාරවන බව ද පෙන්වා දුන්නේය. එම අභියෝගයට මුහුණ දියයුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාරයක් යළි ඇති නොවීමට වගබලා ගන්නා බව ද තම ආණ්ඩුවක් යටතේ මෙම විමර්ශන කටයුතු නියත වශයෙන්ම සිදුකරන බව ද අවධාරණය කළේය.