බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබෙනවා.

එය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දී ඇත්තේ.

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය එමඟින් බලාපොරොත්තු වන බව සඳහන්.

මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරියේ (LMRA) වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකියි.

විදේශ ශ්‍රමිකයින් බහරේනයට ඇතුළුවන අවස්ථාවේදී, ගුවන්තොටුපොළේ දී මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් ලබාගැනීම සඳහා එරට රජය මගින් අවස්ථාව හා උපදේශන පහසුකම් සලසාදී ඇති බව වැඩිදුටත් දැනුම්දී තිබෙනවා.