ඉන්දියාවේ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහි විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසියෙන් ප්‍රහාර

ඉන්දියාවේ කොල්කටාහි රජයේ රෝහලකදී වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව සෑහීමකට පත් නොවන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයින්ගේ අවදානම මෙවැනි ආකාරයේ සිදුවීම් හරහා ඉස්මතු වන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කර ඇති අතර සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඝාතනයට ලක් වූ වෛද්‍යවරරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව ඇයට ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බව තහවුරු වූ අතර අපරාධය සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ පවුලේ අය චෝදනා කරන්නේ එය සමූහ දූෂණයක් වන බවට සැක පළ කරන අතර ඊට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

විරෝධතා හේතුවෙන් වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් දහස් ගණනක් රෝහල්වලින් පිටව ආරක්‍ෂිත සේවා ස්ථානයක් ලබාදෙන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

සේවා ස්ථානයේ සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉන්දියාවේ ඉහළම අධිකරණය පසුගිය සතියේ වෛද්‍යවරුන්ගේ ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවනු ලැබූ අතර එම මණ්ඩලය විසින් රට පුරා සිටින වෛද්‍ය වෘත්තිකයන් සහ සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මාර්ගෝපදේශ සකස් කරනු ඇති.