යල කන්නයේ වී මිල දී ගැනීමට රජයෙන් මුදල්

රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබාදී තිබෙනවා.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව වී මිල දී ගැනීමේ කටයුතු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

මේ අනුව අද (27) සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා දැනට වී අස්වනු නෙළා අවසන් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි වී ගබඩා 32ක් විවෘත කර තැබීමටත්, තවත් ගබඩා 100ක් අවශ්‍ය විටෙක විවෘත කිරීමටත් සූදානම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙහිදී වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කර සිටියේ මේ වනවිට නාඩු වී සඳහා ඉහළ මිලක් වෙළෙඳපොළේ පවතින නිසා පුද්ගලික අංශය විසින් රුපියල් 120ක මුදලකට ඒවා මිල දී ගන්නා බවයි.

නමුත් රජයේ පාලන මිලට තම වී තොග ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට ලබා දීමට පියවර නොගනු ඇතැයි ද විශ්වාස කරන බව සභාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම දැනට කීරි සම්බා වී මිල වෙළෙඳපොළේ රුපියල් 105 – 110 වැනි මිලකට පහළ ගොස් ඇති නමුත් කීරි සම්බා සඳහා රජය විසින් පනවන ලද රුපියල් 130ක උපරිම මිල ගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් බව ද ඒ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

එමනිසා වී අලෙවි මණ්ඩලයට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් විසින් වැඩිපුර අලෙවි කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි වැඩිදුර අදහස් දක්වමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කර සිටියේ.