කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු පහසුකම

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම කොමිසම සඳහන් කළේ.

අදාළ අයදුම්පත්‍ර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට දින 7කට පෙර, එනම් ලබන 14 වන දින හෝ ඊට පෙර තේරීම්භාර නිලධාරී (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) හෝ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස් (දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය) වෙත ඉදිරිපත් කළ යුතු වනවා.