මට ඉගැන්වූ ගුරුවරු සජිත්ට නොසිටි නිසා අභියෝග හමුවේ පැන ගියා -ජනපති මඩකළපුවේදී කියයි

මටත් අගමැතිතුමාටත්, හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මැතිතුමාටත්, හිටපු ඇමැති මලික් සමරවික්‍රම මැතිතුමාටත් වයස අවුරුදු දොළහ, දහතුන, දාහතරේ දී අභියෝගවලින් පැන නොයන ලෙස ඉගැන්වූ බී. සිවලිංගම් වැනි ගුරුවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉගැන්නුවේ නැති නිසා ඔහු අභියෝග බාර නොගෙන පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකළපුවේ පෙරේදා (24) පැවැති මහජන රැලියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද කළේය.

එම විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වී.පී) පක්ෂයේ නායක ඇමැති ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) මහතා සංවිධානය කළ Òපුළුවන් ශ්‍රී ලංකාÓ මහජන රැලිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර මහජන රැලියේ වේදිකාවට ගොඩවූ සිවලිංගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකළපුව සිය නිවෙසේ පදිංචිව සිටි 98 වියැති බී. සිවලිංගම් මහතා සිය ශිෂ්‍යයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැලියට පැමිණ තිබුණි.

සිය ගුරුවරයා තමන් අසලින්ම හිඳුවාගත් රනිල් වික්‍රමසිංහ සිසුවා රැස්වීම අවසන් වනතෙක්ම ගුරුතුමන්ව වේදිකාවේ ඔහු අසලින්ම තබා ගත්තේය.