ජනපතිවරණය වෙනුවෙන් කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරයි

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය වන බවයි.

දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව සඳහන් කරන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, බොරු පොරොන්දු ලබාදෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යැවීමෙන් වළකින ලෙස සඳහන් කර තිබෙනවා.

රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේදී මානව, ස්වභාවික සහ භෞතික සම්පත් නාස්තිය මෙන්ම වැරදි කළමනාකරණය වළක්වාලීම පිළිබඳව ඡන්ද දායකයින්ගේ අවධානය යොමු විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් අදාළ නිවේදනය මගින් ඉල්ලා තිබෙනවා.