මාතෘ භූමියේ වගකීම භාරගත හැකි-නොහැකි අය අතර සටනක් අද නිර්මාණය වෙලා -අගමැති දිනේෂ් ගුණවර්ධන

මාතෘ භූමියේ වගකීම භාරගන්න බැරි අපේක්ෂකයන් සහ මාතෘ භූමියේ අභියෝග භාරගත හැකි අපේක්ෂකයෙක් අතර සටනක් මෙවර ජනාධිපතිවරණයේදී නිර්මාණය වී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ කැලණිය, අංගොඩ සහ මහරගම ප්‍රදේශවල පෙරේදා (24) පැවති ජනහමු කිහිපයකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.

“පක්ෂ භේදයෙන් තොරව අත්වැල් බැඳගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්ව සිටිනවා. අපි ප්‍රධාන ජාතික සටනකට පැමිණ තිබෙනවා. මේ සටන හුදෙක් දේශපාලන පක්ෂ අතර සටනක් නොවේ. මාතෘ භූමියේ වගකීම භාරගන්න බැරි අපේක්ෂකයන් සහ මාතෘ භූමියේ අභියෝග භාරගත හැකි අපේක්ෂකයෙක් අතර සටනක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපේ රටට ආණ්ඩුවක් නැති වෙලාවේ ආණ්ඩුවක් භාරගත් මනුස්සයා. මාතෘ භූමියේ ජනතාව ආරක්ෂා කරගැනීමට, මාතෘ භූමිය නැවතී තිබෙන තැනින් යළිත් ඉදිරියට ගෙන යන්න, රාජ්‍ය භාරකත්වය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ නොපැකිළ ඉදිරිපත් වුණා. අපි කැමති වුණත් නැති වුණත් ඇත්තම කතාව එයයි. අඩපණ වූ, නැවතුණ රට යළි ගොඩනඟන්න අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුවේදී දීමේ සටනේ ප්‍රසන්න රණතුංග සංවිධායකවරයා ඉටු කළ මෙහෙය ඔබ අපි දන්නවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව ඉස්සරහට ගෙන යන්න දෙයිද නැද්ද කියලා අවිනිශ්චිතතාවක් පළ වුණා. එය දේශපාලනයයි. ඒ ජාතික ඕනෑකම නොවේ. මාතෘ භූමිය සහ අනාගතය ගැන නොවේ. අපට ආණ්ඩුව අරන් ඇමැතිකම් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි ඉදිරිපත් වුණේ.

අපේ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා කර, අත්වැල් බැඳගෙන එම ක්‍රියාවලියට අවතීර්ණ වූ මොහොත ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි මහත්වරුන් මෙහි සිටින වෙලාවෙදී ඉතා ඕනෑකමින් ඔබට මතක් කරනවා.

රටක ඉතාම භයානක අවස්ථාවල ලෝකයේ රටවල් මෙවැනි පියවර ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ 134ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් බලයට පත්වුණා. එදා විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ඒ ඩලස් අලහප්පෙරුම මහතා. කලින්දා රාත්‍රී වෙනකන් සටනට එනවා කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා. නමුත් උදේ පාන්දර ඔහු සටනේ ගිවිසුමකට එළැඹිලා අපි කවුරුත් දන්න ඩලස් අලහප්පෙරුම ඡන්දයට දැම්මා. එකසිය තිස් හතරක් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට තෝරා ගත්තා.

එදා ඉඳලා අද දක්වා මේ අය වෙන් වෙන්ව අපේ ඉදිරි ගමනට ගැහුවා. දැන් ඒ දෙන්නා එකතු වෙලා. එදා කිව්වේ සහයෝගය විතරයි අපි දෙන්නේ කියලා. රාත්‍රී කතා වෙලා හදපු ඒ ගිවිසුම අද ස්ථිරව එළිදරව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව ඉස්සරහට ගෙන යන්න දෙන්නේ නෑ කියලා විරුද්ධව දරපු කුමන්ත්‍රණය පරාජයට පත් කර අපි රනිල් වික්‍රමසිංහ මහතාට ඒ යෝධ හයිය දුන්නා. අලුත් ආණ්ඩුව හැටියට අමාරුම කාලපරිච්ඡේදයකට මුහුණ දුන්නු මෙතැන ඉන්න වැඩිහිටියන් දන්න ලංකා ඉතිහාස පොතේ කවදාවත් මුහුණ නොදුන්නු කාලපරිච්ඡේදයකට අපි මුහුණ දුන්නා. එවන් කාල පරිච්ඡේදයකින් ආර්ථික බංකොලොත්කම, දේශපාලන අවිනිශ්චිත බව, නීතිය හා සාමය කඩා වැටුණු වාතාවරණයකින් රට ගොඩගන්න තිබු ඒ අභියෝගයට අපි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකට ආණ්ඩුව පිහිටුවා ඒ ගමන ඉදිරියට ආවා.

එතුමාට එවැනි හැකියාවක් තිබු බව අපි විශ්වාස කළා. ජාත්‍යන්තර විශ්වාසය සහ සම්බන්ධකම් ඇති රාජ්‍ය නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාට මේ වගකීම භාර දෙන්න විශ්වාසයක් ඇති වුණා.

අපි හැමෝම ආණ්ඩුව හැටියට ඒකට සහයෝගය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා, අපි සියලු දෙනා එතුමාට ඡන්දය දීලා සහයෝගය දුන්නා ජනාධිපති වෙන්න. ඒ විශ්වාසයක් තිබු නිසා. රටක් ගෙනයන්න පුළුවන් කෙනෙක් රාජ්‍ය නායකයා විය යුතුයි. රටක් ගෙන යන්න බැරි කෙනෙක් රාජ්‍ය නායකයා කිරීමෙන් ඇති වන ඵලය මොකක්ද? යළිත් කල්පනා කරන්න.

අපි මේ මුහුණ දෙන්නේ එවැනි මහාමැතිවරණයකට. අපි එකඟතාවක් අනුව යම් යම් රාමුවකට එකඟ වෙලා ආර්ථික, දේශපාලනික ස්ථාවර බවට අපේ මාතෘ භූමිය ගෙන ඒමේ ක්‍රියාවලිය අද සාර්ථක කර තියෙනවා. අමාරු තමයි. නමුත් මෙතැනින් එහාට තවත් සහන දීමයි තියෙන්නේ. කටුකම කාල පරිච්ඡේදය වන මූල්‍ය අර්බුදය පහු කර ඉවරයි. කටුකම අර්බුදය රාජ්‍ය පාලනය පහු කර ඉවරයි. දැන් අප ඉදිරියේ තියෙන සටනේ පැහැදිලිව ජයග්‍රහණය පමණක් නොව, රාජ්‍ය පාලනය අත්දැකීම් තියෙන අපේක්ෂකයා කවුද? ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට වගකියන්න පුළුවන් අපේක්ෂකයා කවුද? කියන කාරණයයි.

යම්කිසි ආර්ථික ප්‍රගතියකට අද රට පත්කර තියෙනවා. අපි ආණ්ඩුව භාරගන්න කොට ඍණ ආර්ථිකයක් තිබුණා. ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරයට හැකි වුණා. අද එය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කර තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ මිත්‍ර රටවල් සියල්ලම ඒක කියනවා. අමෙරිකානු එක්සත් ජනපදයේ සිට යුරෝපය හරහා චීනය, ජපානය රටවල් යළිත් ලංකාව එක්ක ගනුදෙනු කරන්න පටන්ගෙන. ඒ විශ්වාසවන්ත රට අපට, ඔබට, අපේ දරුවන්ගේ අනාගතයට යළි ගොඩනගන්න පුළුවන් බව ඇති කළේ රනිල් වික්‍රමසිංහයි. අමාරු ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්න වෙනවා. ඉතුරු කාලපරිච්ඡේදයේදී නොවිසඳුණු ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙන්න වෙනවා.

අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ පක්ෂයකින් නෙවෙයි. පක්ෂයේ ලකුණෙන් නෙවෙයි. පක්ෂය අතහැර රටේ විවිධ දේශපාලන පක්ෂ කළ ඉල්ලීමට එකඟ වෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩරය ලකුණෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණා. රට ඉදිරියට ගෙන යෑමට, රටට ආර්ථික ශක්තියක් ඇති කරන්න, අලුත් වැඩපිළිවෙළකින් මේ රටේ අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් ගොඩනඟන්න පුළුවන්. ස්ථාවර බව ඇති කරන්න වත්මන් ජනාධිපතිවරයාට පුළුවන්.”

ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මධුර විතානගේ මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්වූහ.