ජනපතිවරණයේ වැඩවලට නොමිලයේ ප්‍රවාහන පහසුකම් තහනම්

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම සියලු ජනාධිපති අපේක්ෂකයින්ට තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී ඇති බව සඳහන්.

එමෙන්ම රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවටද කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරි කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදාගැනීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ, දුම්රිය යොදාගන්නේ නම් ඒ සඳහා ද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබාගත යුතු වන බව සඳහන්.