තහනම් උත්තේජක භාවිත කොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළේ යැයි චෝදනා එල්ල වූ ගෝල් මාවලර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ල ඊයේ ජාතික විනය කමිටුව ඉදිරියේ චෝදනා පිළිගත්තේය. එහෙත් ඔහු සිදු කළේ යැයි පවසන තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ චෝදනාව එල්පීඑල් තරගාවලිය ඉලක්කකොට සිදුවූ එකක් නොවන බවට ජාතික විනය කමිටුව හමුවේ පවසා තිබේ. පැය 2කට ආසන්න කාලයකදී පැවති විනය පරීක්ෂණය අවසානයේ දික්වැල්ල ඔහුගේ මුත්‍රා ‘බී’ සාම්පල පරික්ෂාව අනවශ්‍ය බව පවසා ඇත.
ඔහුට එල්ල වූ ‘කොකේන්’ නම් වූ තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට ඊයේ දිනයේ අවස්ථාව ලබාදුන් අතර, එයට සවන්දීමෙන් අනතුරුව ඔහුට පැනවෙන දඬුවම ජාතික විනය කමිටුව තීරණය කරනු ඇත. කෙසේ වුවද ඔහු ඊයේ වාචිකව ලබාදුන් නිදහසට කරුණු ලිඛිතව ලබා ගැනීමට ජාතික විනය කමිටුව තීරණය කොට ඇත. එබැවින් ඒ සඳහා ඉදිරියේදී ඔහුට තවත් දිනයක් ලබාදීමට නියමිතය.
තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමේ අවස්ථාවට නිරෝෂන් දික්වැල්ල සමඟ ඔහුගේ නීතීඥ රනිල් ප්‍රේමතිලක මහතා ද පැමිණ සිටි අතර, ඒ මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ කරුණු විමසීම සමාප්ත වූ බවය. නිරෝෂන් දික්වැල්ල මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර, ඔහු සිනහ මුසු මුහුණින් පිටව ගියේය.
තරගයක් අතරතුරදී ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂණයකදී තහනම් උත්තේජක භාවිතය තහවුරුවී ඇති බැවින් ජාතික විනය කමිටු තීරණය ඉක්මණින් ප්‍රකාශයට පත්වනු ඇති බව පැවසේ.
මෙයට මාසයකට පෙර නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12කගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරීක්ෂාවකට ලක්කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී ඇත. මේ පරීක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙන තුරු තාවකාලික තරග තහනමක් පැනවීය.
මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු වුවහොත් සියලු ආකාරයේ ක්‍රීඩාවලින් වසර හතරක තහනමකට මුහුණ දිය යුතු අතර, පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතී.
2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී කොරෝනා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයන් තිදෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවිය. එම තහනම 2022 වසරේ ජනවාරි මස 7 වැනිදා ඉවත් වූ අතර, එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය.