සුව ඇමති කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

කරාපිටිය ජාතික රෝහලේ වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක් පුරාවට සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ එම කටයුතුවල ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (23) කරාපිටිය ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වී ඇති බව සඳහන්.

මෙහිදී රමේෂ් පතිරණ මහතා තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්ව වසරක් පමණ වන ඉතා කෙටි කාලයක් තුළ කරාපිටිය ජාතික රෝහලේ ක්‍රියාත්මක කර වැඩ අවසන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දැනට ක්‍රියාත්මක සහ වැඩ අවසන් කර නොමැති සංවර්ධන ව්‍යාපෘතීන් ද නිරීක්ෂණය කර තිබෙනවා.

එම නිරීක්ෂණයේ දී පැවති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන සියලු රෝගීන්ට තදබදයකින් සහ මානසික පීඩනයකින් තොරව සිය ප්‍රතිකාර සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය අවකාශය මෙම සංවර්ධන කටයුතු අවසන් වීමත් සමග ජනතාවට ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වාදී ඇති බව සඳහන්.