යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳ පළවන තොරතුරු අසත්‍ය බවට අනාවරණයක්

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙම අදහස් පළ කළේ ස්ථාවර රටකට – සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළ 1960 දශකයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3ක් පමණ නිකුත් කර ඇති බව ද රංජිත් රූබසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.