අමාත්‍ය මණ්ඩල තීරණ

2024 අගෝස්තු 21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ අගෝස්තු 22 දින ප්‍රකාශයට පත් කරනු ලැබූ තීරණ මෙසේය.

‘කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක්

තෝරාගත් පාසල් 100ක 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගිත්වයෙන් ‘කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් එම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන් තුළදී මෙම වැඩසටහන අනෙකුත් පාසල් සඳහා ව්‍යාප්ත කිරීමටත් තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

‘ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම’

‘ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම’ යටතේ වන තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ට අදාළ වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ඉවත් කිරීම සඳහා 2023-05-29 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි සාදන ලද නියෝගය, අංක 2377/39 දරන 2024-03-28 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අදාළ වන නිදහස් කිරීම් සහිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

CHEC PORT CITY COLOMBO (PRIVATE) LIMITED සඳහා ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අදාළ වන නිදහස් කිරීම් ද සහිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව 2024-09-07 දින සිට 2027-06-30 දින තෙක් දීර්ඝ කිරීම සඳහා 2024-08-05 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන පරිදි නියමයන් අංක 2396/60 දරන 2024-08-09 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයට නව ගොඩනැඟිල්ලක්

ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයෙහි ප්‍රධාන කාර්යාලය කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටා ඇති අතර, ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිලි 02ක් බදු පදනම මත ලබාගෙන දැනට සිසුන් 3,000ක පමණ ප්‍රමාණයක් සඳහා අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. වැඩි සිසුන් පිරිසකට එම ආයතනයේ අධ්‍යාපන පහසුකම් සලසා දීමට සහ නව අධ්‍යයන පාඨමාලා හඳුන්වා දීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන පරිදි එම ආයතනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයෙහි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික හෝ රජයේ ඉඩම් කොටසක් ආයතනයේ අරමුදල් යොදවා අත්කර ගැනීමටත් එකී ඉඩම් කොටසෙහි නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමටත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය ඉදිරිපස සංචාර සේවා කවුන්ටර 06ක්

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස හිස් ප්‍රදේශයේ (ලොබිය) සංචාර සේවා කවුන්ටර හයක් (06) ක්‍රියාත්මක කිරීම සඳහා ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 12ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ ඇමැති මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති ඉහළම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් ලංසුකරුවන් වෙත වසර 03ක කාලසීමාවකට එකී ප්‍රදේශයන් භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සෞදි අරාබියේ දම්මාම්, ජෙඩාහ් සහ රියාද් යන ගුවන්තොටුපොළවලදී මගීන් සහ ජංගම ගුවන් සෝපාන හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව 2024-12-31 දිනෙන් අවසන් වීමට නියමිත අතර, චීනයේ ගුවැන්ග්සෝ ගුවන්තොටුපොළේදී මගීන් සහ ජංගම ගුවන් සෝපාන හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව 2025-01-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. එබැවින්, ඒ සඳහා යෝග්‍ය සේවා සැපයුම්කරුවන් තෝරාගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ අනුව, ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති පහත සඳහන් සේවා සැපයුම්කරුවන් වෙත වසර 03ක කොන්ත්‍රාත් කාලසීමාවකට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම ට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ප්‍රවේශය වැඩිදියුණුව මාගා ෙවත

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා දේශීය තරගකාරී ලංසු කැඳවීමේ පටිපාටිය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 10ක් ලැබී තිබේ. ඒ අනුව, ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

බොර තෙල් නැව් තොග 03ක් මිලට ගැනීමේ කොන්ත්‍රාත්තුව විටෝල් ඒෂියා සමාගම වෙත

ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30කින් ගෙවීමේ පදනම යටතේ 2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) මිල දී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී ඇති අතර, සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද ලංසුව පමණක් ප්‍රතිචාරාත්මක ලංසුව ලෙස ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 03ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම පමණක් ලංසු ඉදිරිපත් කර තිබීම

2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ 100% ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ (100% Ex. Storage Modality) මර්බන් බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) ප්‍රසම්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම සමාගම වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.