රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ජනපති පහදයි

රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප සියයට 24කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

මේ රටේ ජනතාව විඳි දුක අප දන්නවා. රට මේ තත්ත්වයට ගෙන ඒමට වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. අප එය කැමැත්තෙන් කළේ නැහැ. අකමැත්තෙන් වුවත් එම තීරණ ගැනීමට සිදු වුණා. එයින් රටේ ආර්ථිකයට සහනයක් ලැබෙන බව අප දැන සිටියා.

අප දුක් විඳි රජයේ සේවකයන්ව අමතක කළේ නැහැ. 2024 ජනවාරි මාසයේ අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක් ලබා දුන්නා. අප්‍රේල් මාසයේ 10,000ක් ලබා දුන්නා. 2025 පාදක වසර බවට පත් කරගෙන ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් බවට පත් කර රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරනවා.

වසර දෙකකින් අප රුපියල් 25,000ක් ලබා දුන්නා. බංකොලොත් නොවූ එක රජයක්වත් මෙවන් සහනයක් ලබා දුන්නේ නැහැ.