“ඕනෑම විවාදයකට මම සූදානම් “ ඇමති කංචන

ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලි බල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතාහාසය පුරා බාධා සිදුකලේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි අමාත්‍ය කංචන විජේසේකර  මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ  (20) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර  මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා –

අපේ රටේ විදුලි බල අර්බුදයට හේතු වුනු දේශපාලන කණ්ඩායම් හිටියා. මිලදි ගැනීම් කරගන්න බැරිව පැය 16ක් විදුලිය කප්පාදු කලේ ආර්ථික අර්බුදය නිසා. යුක්රේසන් යුක්‍රේන රුසියානු යුධ තත්ත්වයත් එක්ක  සීඝ්‍රයෙන් දැවි තෙල් හා ඉන්ධන මිල ඉහළ යාම නිසා පිරිවැය වෙනදට වැඩිය දරන්න සිද්ධ වුණා. ඩොලරයේ මිල ඉහළ යාමෙන් පිරිවැය වැඩිවීම නිසා අපේ ජනන සැලසුමේ පහසුකම් තිබුණත්, පිරිවැය පාලනය කරගන්න බැරිවුණ නිසා විදුලිය ලබාදීමට නොහැකි වෙලා තිබුණා. අපිට කරන්න තිබුණු අමාරුම, අසීරුම, නිවැරදිම තීන්දුව තමයි ඒ අවස්ථාවේ පිරිවැය ගැලපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අඛණ්ඩ විදුලිය ලබාදීමක් සිදුකරන එක.

රජයක්, ජනාධිපතිවරුන් පත්වෙන්නේ පහසු තීන්දු ගැනීමටවත් එහෙම නැත්නම් ඒ අවස්ථාවේ අසීරු තීන්දු ගන්නෙ නැතුව ඉන්නවත් නෙවෙයි. ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් පත්වෙන්නේ අමාරු අසීරු නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි. එවැනි නිවැරදි තීන්දු ගැනීම නිසා අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කරන්න පුළුවන් වුණා. ඒ වගේම රටට බරක් වෙලා තිබුණ විදුලිබල මණ්ඩලයේ ගැටළු විසඳා ගන්නත් පුළුවන් වුණා. පිරිවැය ආවරණය කිරීම කියන එක විදුලි බල මණ්ඩලය ලාබ ගන්න කරන දෙයක් නෙවෙයි.

විදුලි පාරිභෝගිකයන්ට එක පැත්තකින් විදුලිය ලබාදෙන්න බැරි වුණා වගේම පුනර්ජනනීය සැපයුම්කරුවන්ට බලාගාර පවත්වාගෙන යමින් බලාගාරවලින් විදුලිය ලබාදෙන පාර්ශ්වකරුවන්ට දේශීය සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්න බැරිවෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රධානම රාජ්‍ය බැංකු දෙක රුපියල් බිලියන 300කට වැඩිය ණය බරක් මේ ආයතනය නිසා දරා ගැනීමට සිදුවුණා. ඒ සිදුවීම කළමනාකරණය කරගත්තේ නැත්නම් රාජ්‍ය බැංකු දෙකත් කඩා වැටෙන තත්ත්වයට පත්වෙනවා. ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව විශාල වශයෙන් ණය බරක හිරවෙලා තිබුණා. විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු මුදල් නිසා ශ්‍රී ලංකන් ආයතනය වගේ ආයතන ගණනාවක් මේ තත්ත්වයට මුහුණ දීලා තිබුණා. පහුගිය අවුරුදු දෙකේ ගත්ත තීන්දු තීරණ නිසා විදුලි බලය අඛණ්ඩ සැපයුමක් ලබා දෙන්න පුළුවන් වුණා වගේම, ජල විදුලි බලාගාරවල දේශීය සැපයුම්කරුවන්ට ගෙවන්න, බැංකු ආරක්ෂා කරන්න හැකි වුණා. ඩොලරයේ අගය අඩුවීම නිසා විදුලි පිරිවැයත් එන්න, එන්න අඩු කරගන්න පුළුවන් වුණා.

අනුර කුමාර දිසානානායක මැතිතුමා කියනවා අපේ විදුලි පිරිවැය තව අඩු කරන්න නම් අඩු වියදම් බලාගාර ඉදිකරන්න ඕනෙලු. හැම රජයක්ම ප්‍රතිපත්ති සකස් කරගෙන ආවේ මේ කටයුත්තටයි. සූර්ය බලාගාර, සුළං බලාගාර ඇතුළු නව විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව, නීති රාමුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරලා මේ වන විටත් වැඩපිළිවෙළ ගණනාවක් සිදුකරගෙන යනවා. හැම රජයක්ම ආරම්භ කරපු ව්‍යාපෘතියක් නැවතුනානම්, ඒක නවත්වන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති. සම්පූර් බලාගාරයේ යෝජනා කරන අවස්ථාවේ පරිසර සංවිධාන විරුද්ධ වුණා.  විරෝධතා නිසා උමා ඔය ව්‍යාපෘතිය අවුරුදු හතක් ප්‍රමාද වුණා. ඕනෙම ව්‍යාපෘතියක් කිරීමේදී යම් පරිසර බලපෑමක් සිදුවෙනවා. ඒවා කළමනාකරණය කරන එකයි අපි කරන්න ඕනේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ තියෙනවා හොඳ කාරණා. එතුමන්ලා විරුද්ධ වුණ නිසා කරන්න බැරි වුණ සුළං බලාගාර ඉදි කළ යුතුයි. මෙගාවොට් 40ක ධාරිතාවක් අපේ රටේ තියෙනවා. පහුගිය කාලෙම සුළං බලාගාර ඉදිකිරීමට යාමේදී පාරිසරික ගැටලු ඔවුන් මතු කළා. පාරිසරික ගැටලුව සමනය කරගෙන ඒ කටයුත්ත කරන්න වෙන විකල්ප වැඩපිළිවෙලක් එතුමන්ට තියෙනවද කියලා කියන්න ඕනේ. පිරිපහදුව සහ ප්‍රතිසංස්කරණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ වැඩසටහන් එතුමන්ලා ඉදිරිපත් කරලා තියෙනවා. මෑතකදී හරි අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිතිය ඒක ප්‍රතික්ෂේප කරනවා.

අපි දැන් සතුටු වෙනවා, අඩුම තරමේ මේ පිරිස අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා.  ඒ වෙනුවෙන් අපි යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්ද දුන්නා. ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට මම සූදානම්.  අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ආරාධනා කරනවා පාර්ලිමේන්තුවෙන් එළිය විවාදයකට එන්න කියලා. මීට පෙරත් මම එතුමාට විවිදයකට ආරාධනා කළා. බලශක්තිය විදුලි බිල සම්බන්ධයෙන්, විදුලි ජනනය පිළිබඳව, ප්‍රසම්පාදනය පිළිබඳව ඕනෑම විවාදයකට මම සූදානම්. මේක අභියෝගයක් නෙවෙයි. ආරාධනාවක්. සංවාදයට එන්න. අපි මේ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ සංවාදයක් ඇතිකර ගනිමු.

විදුලි බල මණ්ඩලයේ ලාභාංශ පිළිබඳව ඊයේ පෙරේදා ප්‍රධාන මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ලාභාංශ පිළිබඳ වාර්තා කිරීමේදී ලාභාංශ වාර්තා කිරීම වගේම මාධ්‍යවලින් මම ඉල්ලීමක් කරනවා ඒ ලාභ කොටසෙන් ගෙවන්න තියෙන කොටස් පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. එහෙම නැති වුණොත් ජනතාවට වැරදි අවබෝධයක් යන්න පුළුවන්, අසීමිත ලාභ ලබා ගනිමින් මහා භාණ්ඩාගාරයට හෝ වෙනත් කටයුත්තක් කරනවා කියලා.

මේ තියෙන සංඛ්‍යා ලේඛනවල තියනව රුපියල් බිලියන 119ක මුදලක්. 2023 ජුනි සිට 2024 ජුනි මාසේ දක්වා ලැබුණු ශුද්ධ ලාභය බිලියන 93යි. ඉන් පුනර්ජනනීය බලය දැනටමත් සපයලා තියෙන ඒවට රුපියල් බිලියන 18ක් ගෙවන්න ඕනේ. දැවි තෙල්, නැප්තා, ඩීසල් බලාගාරවලින් ලබාදී තිබෙන සේවාවට බිලියන 14..07ක් දෙන්න තියෙනවා. ගල් අඟුරු මිගැනීම්වලට බිලියන 22කට ආසන්න මුදලක් යනවා. දේශීය සහ අනෙකුත් ව්‍යාපෘති සදහා සැපයුම්කරුවන්ට ගෙවන්න තියෙන මුදල බිලියන 12.3යි. වහලය මත සූරිය පැනල සඳහා මිලියන 24 ක්. බැංකුවලින් ලබාගෙන තිබෙන කෙටිකාලීන ණය වෙනුවෙන් බිලියන 18යි. මේවා ගෙව්වාම අපට ඉතුරු වෙන්නේ බිලියන පහයි. ඒ මුදල ඇතුළත තමයි පසුගිය අවස්ථා දෙකකදී විදුලි පිරිවැය අඩු කළේ. මේ පිරිවැය අඩු කරගෙන මහජන උපයෝගීතා කොමිසමට ඒ අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරලා සම්මත වෙලා තියෙනවා.

විදුලි බල මණ්ඩලය 2012 වසරේ රුපියල් බිලියන 300කට ආසන්න අලාභයක් ලැබුවා. ඒ අලාභය පියවා ගන්න මහා බණ්ඩාගාරයේ මැදිහත් වෙලා මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ අලාභය කියන්නේ විදුලි බල මණ්ඩලය ගෙවන්න තියෙන මුදල්. බැංකුවලට ගෙවන්නේ නැත්නම්, සැපයුම්කරුවන්ට ගෙවන්නේ නැත්නම් විදුලිය ලබාදීපු සූරියපැනල සවි කරගෙන ඉන්න පාරිභෝගිකයන්ට ගෙවන්නේ නැත්නම්, සෝලා සුළං බලාගාරවල සපයලා තියෙන විදුලියට ගෙවන්නේ නැත්නම්, කුඩා ජලවිදුලි බලාගාර සැපයූ සේවාවන්වලට ගෙවන්නේ නැත්නම් ඔවුන්ගේ සේවාවන් පවත්වගෙන යන්න නොහැකි වෙනවා. ඔවුනුත් ණය අරගෙනයි මේ සේවා පවත්වා ගෙන යන්නේ.  එහෙම වුනොත් විශාල කොටසක් අපේ ජනන පද්ධතියෙන් ඉවත් වෙනවා. එහෙම වුනොත් වැඩි මුදලට විදුලිය මිලදී ගන්න වෙනවා. විදුලි බිල ඉන්ධන මිල වැඩි කරන්න හේතු වීම ගැන අපි බරපතල ලෙස කණගාටු වෙනවා.

නමුත් කාලයක් පුරා බලාගාර ඉදිකිරීමට කළ අවහිර කිරීම්, දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කරපු බාධා කිරීම් හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. 2022 ජූලි මාසයේ සිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය යටතේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ තවත් අවුරුද්දක් දෙකක් ඉදිරියට යනවා නම් තව මීට වැඩිය වැඩි සහනයක් ජනතාවට ලබා දෙන්න පුළුවන්. වර්ෂාපතනය ලැබීම නිසා ඔක්තෝම්බර් මාසයේ මිල සංශෝධනයේදී අපිට යම්කිසි අඩු කිරීමක් කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා.

ඩීසල් ඒකකයක් සඳහා රුපියල් 106 ක් 110ක් පමණ ප්‍රමාණයක් වැය වෙනවා. එල්. එන්. ජී භාවිතයෙන් මේ වියදම  සීයට පනහක් විතර අඩු කර ගන්න පුලුවන්.  ඒ වැඩපිළිවෙල යටතේ ක්‍රමානුකූලව විදුලිබිල අඩු කරන්න සුදානම්. දේශපාලන පොරොන්දු හැටියට ලබන මාසේ මේ ගානෙන් අඩු කරනවා වගේ කතා කියන්න පුළුවන් වුනත් එහෙම කලොත් අපිට මාසයක් යනකොට නැවත ඉන්ධන පෝලිම්වලට, විදුලි කප්පාදුවට යන්න වෙනවා.

සේවක අතරික්තයක් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තට ඔවුන්ගේ වෘත්තීය සමිති එහෙම කියන්නේ නැහැ. කාර්යක්ෂමතාවය පදනම් වූ වැටුප් සහ දීමනා ක්‍රමයකට විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තරයේ මේවන විට ප්‍රතිව්‍යුහගතවිමක් සිදුවෙනවා.  නීති රාමුව අනුව මෙය සිදුකරන්න අවුරුදු තුනක් යනවා. අභ්‍යන්තර ප්‍රතිව්‍යුගතකරණයට අවුරුදු පහක්වත් යයි. දැනට සිටින සේවකයන් කනින් ඇදලා එළියට දාන්න බැහැ. විශ්‍රාම  යන පිරිසට අනුව අනුමත කාර්ය මණ්ඩලය පමණක් බඳවා ගන්න ඕනේ. විදුලි බල මණ්ඩලය දැනට අනුමත කාර්ය මණ්ඩලය 24000යි.  දැන් ඉන්නේ 21000යි.  අපි තීන්දුවක් ගත්තා සේවකයින් 21000ට වඩා බදවා ගැනීම් කරන්නේ නැහැ කියලා. දේශපාලන වශයෙන් කටයුතු කළා නම් අපිට පුරප්පාඩු 3000ක් පුරවන්න තිබුණා. නමුත් එහෙම නොකර සේවකයින් 21000ක් කියන සීමාවේ ඉන්න අපි තිරණය කළා. ඉදිරි අවුරුදු 5 තුළ විශ්‍රාම යන පිරිසත්, වන්දි මුදලක් දීලා විශ්‍රාම යන පිරිසත් සැලකිල්ලට ගනිමින් 24000ක් වූ සේවකයින් ප්‍රමාණය 12000 දක්වා ගෙන ඒම අපේ අරමුණයි.

ඒ වෙනාකොට වැටුප්තල විෂමතාවයන් ඉවත් වෙන්න ඕනේ. නව වැටුප් තලවල පිහිටවන්න ඕනේ. දීමනා සහ උසස් වීම් ක්‍රමවේදය කාර්යක්ෂමතාවය මත පදනම් වෙලා සිදුවෙන්න ඕනේ. පිරිවැය ආවරණය කර ගැනීම කියන්නේ කිසිම රජයකට එළැඹෙන්න බැරිවුණ අපහසුම කාරණයයි. ඒකට රජයන් ජනාධිපතිවරු බිය වුණා. 2014 සිට පිරිවැය අඩුවුනත් වැඩිවුණත් ගාස්තු ක්‍රමය සංශෝධනය කරේ නැති නිසා අවුරුදු නවයක් අලාභය වුණා.

විදුලි පිරිවැය වැඩිවීම කියන කාරණාවට එක හේතුවක් 2014 ඉඳලා බලාගාර ඉදිනොවීම. අඩු වියදම් බලාගාර යෝජනා ඉදිරිපත් වුනාම ඒවට විරුද්ධ වුනේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම. පාවෙන සූර්ය බලාගාර වෙනුවෙන් නියමු ව්‍යාපෘති දෙකක් චන්ද්‍රිකා වැව සහ කිරි ඉබ්බන් වැවේ කොරියානු රජයේ සම්පූර්ණ මූල්‍ය පරිත්‍යාගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේවාට විරුද්ධව උද්ඝෝෂණය කෙරෙව්වෙත් ජනතාව විමුක්ති පෙරමුණයි. කරන හැම දේකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට ආවොත් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි.

සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අතරේ වෙනසක් මම දකින්නේ නැහැ. විදුලි බල පනත ගේන්නේ ජල විදුලි බලාගාර ටික විකුණන්න කිව්වාට මේ වොනකොට මොකක්ද විකුණලා තියෙන්නේ. මේ දේශපාලන සටන් පාඨ පාර්ලිමේන්තුවේ කියන්න පුලුවන්.නමුත් විකිණීමක් කොහෙවත් වෙලා නැහැ.රජය කරන හැමදේම විවේඡනය කරලා, ඔවුන් බලයට ආවාම ඒ විවේඡනය කරපු දේවල් ටිකම කරනවා කියන්නේ ඇයි? පහුගිය අවුරුදු දෙකේ ඇයි රජයට සහාය නොදැක්වූවේ. අපි රටට නායකයෙක් විදියට තෝරා ගන්න ඕනේ අපි ඇවිත් කරන්නම් කියන කෙනෙක්ද , කරලා පෙන්නලා තියෙන කෙනෙක්ද? ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැහැ කිව්වා. රටේ ආර්ථිකය හදන්න බැහැ කිව්වා.විදුලිය දෙන්න බැහැ කිව්වා.ඩොලරය රුපියල් 700ට යන එක නතර කරන්න බැහැ කිව්වා.  ඒ හැම දෙයක්ම පුලුවන් කියලා කරලා පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. අපි අත්හදා බැලීම් කරනවාද, කරගෙන ආපු වැඩපිළීවෙළ ඉදිරියට ගෙනියනවාද?