ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි -සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා.

දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට රටම ගිලගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂවලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද ෆොන්සේකා මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නොමැති බවත් මොවුන් කිසිවිටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිත කටයුතු නොකරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවද වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියා.

තවද පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොමැති බවයි ෆොන්සේකා මහතා පෙන්වාදී තිබෙන්නේ.

පාර්ලිමේන්තුව තුළ දූෂකයන් සහ සොරුන් බහුතරයක් සිටින බැවින් කිසිවිටක විධායක බලතල ඉවත්කර යුතු නැති බවත් විධායක බලතල පවතින තැනට නිවැරදි පුද්ගලයෙකු පැමිණ සොරුන් සහ දූෂණයට අදාලව වැඩ කළ යුතු ආයතන පිරිසිදු කිරීම සිදුකළ යුතු බවයි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සඳහන් කර සිටියේ.