අසත්‍ය ප්‍රකාශය ගැන තිස්ස අත්තනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – නලින්ද

මහනුවර දළදා පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය හෝ වෙනත් කිසිඳු අයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මහනුවර දළදා පෙරහැර නවත්වන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කරන ලද්දේ අසත්‍ය පුවතක් බවත්, එම අසත්‍ය පුවත පාදක කර ගනිමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණය හමුවට යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම මැතිවරණ කාලයේදී සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතික ජන බලවේගයට එරෙහිව මතයක් නිර්මාණය කිරීමට බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.