රාජ්‍ය පොහොර සමාගමට පසුගිය වසරේ විශේෂ ලාභයක්

රාජ්‍ය පොහොර සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇති බව එම සමාගම් හි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති එම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම ඒකාබද්ධ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් මෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බවත් ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා ඇති බවයි.

දැනට රාජ්‍ය පොහොර සමාගමේ මුල්‍ය තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ඇති බවත් ඒ අනුව මේ වනවිට මෙම සමාගමේ මුල්‍ය තත්ත්වය රුපියල් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් පළ කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රට තුළ ආර්ථික අර්බුදකාරි තත්ත්වයක් පැවතියද රජයට අයත් පොහොර සමාගම මගින් ඉහළ ලාභයක් උපයා තිබීම අගය කරන බවයි.

එමෙන්ම, විශේෂයෙන් රාජ්‍ය පොහොර සමාගම මෙසේ විශාල මුල්‍යමය ලාභයක් ලබා ඇත්තේ වී මෙන්ම තේ, පොල්, රබර් සහ කුරුඳු වගාවන්ට පොහොර සහනාධාරයක් ලබා දෙමින් බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.