ලන්ඩනයේ මාළිගයක ගින්නක්

ලන්ඩනයේ සමර්සෙට් හවුස් පැරණි රාජකීය මාළිගයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් 125කට අධික පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1547 වසරේදී පමණ ඉඳිකරන ලද, තේම්ස් නදියට ඉහළින් පිහිටි අඩවියක පිහිටා ඇති සමර්සෙට් හවුස් පැරණි රාජකීය මාළිගාවක් වන අතර එය වර්තමානයේ දී කලා, සංස්කෘතික හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වනවා.

එහි හටගෙන ඇති ගින්නෙන් මෙතෙක් කිසිඳු අයෙකුට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සමර්සෙට් හවුස් පැරණි රාජකීය මාළිගයේ වහලයක කොටසක ගින්න හටගෙන තිබූ අතර එය ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් නැවත දැනුම්දෙන තෙක් ඊට මහජනතාවට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

මෙම මාළිගය 1558 දී I එලිසබෙත් රැජින ලෙස කිරුළු පැළඳීමට පෙර ඇයගේ නිවස වූ අතර ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී 1642 සිට පාර්ලිමේන්තු හමුදා මූලස්ථානය ද වුණා.