නාමයෝජනා දුන් ජනපති අපේක්ෂකයෝ මෙසේ කියති

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෝ නාමයෝජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරීශ්‍රය තුළදී මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සීලරතන හිමි යන අපේකෂකයෝ ඇතුළු පිරිසක් මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළහ.


රට වැටෙන එක නවත්වන්න විපක්ෂයේ කවුරුත් හිටියේ නැහැ
– ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රට වැටෙන එක නවත්වන්න විපක්ෂයේ කවුරුත් හිටියේ නැහැ. ඒ ගොල්ලො පැනලා ගියා ආණ්ඩුවට අයින් වෙන්න කියලා. දැන් අපිට පින්සිද්ධ වෙන්න එයාලට පුළුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. එයාලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න පුළුවන් ද? අද අපි හැමදෙනාම මෙහාට ඇවිල්ලා තිබෙනවා. බස්වලින් එනවා, වෑන්වලින් එනවා, එදා ඉන්ධන පෝලිම් තිබුණ රටක අද ඉන්ධන පෝලිම් නැහැ, ආහාර පෝලිම් තිබුණ රටක ආහාර පෝලිම් නැහැ, බෙහෙත් පෝලිම් තිබුණ රටක බෙහෙත් පෝලිම් නැහැ, අතේ සල්ලි තිබෙනවා. මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 89 ට තිබුණෙ. අපි භාර ගත්තේ ඒක ඩොලර් බිලියන 76 කට අඩු වෙලා තියනකොටයි. ඩොලර් බිලියන 13 කින් අඩු වුණා. රුපියල 190 ඉඳන් 370ට ගියා. උද්ධමනය සියයට 28 දක්වා ගියා. එහෙම ජීවත් වෙන්න බැහැ. නමුත් අවුරුද්දක් වගේ කාලයක් තුළදී අපි ඒක ඩොලර් බිලියන 84ක් කළා. දැන් රුපියලේ වටිනාකම 300කටත් අඩුයි. දැන් සහන තියනවා. ජීවත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්න තිබෙනවා. ගන්න පඩිය මදි වෙන්න පුළුවන්. ණය වෙන්න වෙන අවස්ථාත් ඇති. අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මම ඒක දන්නවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ඒ දේ කරපු අයත් එක්ක මම තරහයි. මේ රටේ දේශපාලන නායකයෝ පැනලා ගියා. ඒ ගැටලුව වැඩි වෙන්න කටයුතු කළා. කවුරුත් මේක අඩු කරන්න මේකට අතගැහුවෙ නැහැ. අපි ඒ දේ කළා. සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා තිබෙනවා.

බංකොලොත් වුණත් සමෘද්ධිය වෙනුවෙට අස්වැසුම තුන් ගුණයක් දුන්නා. ලක්ෂ 18ක් වෙනුවට ලක්ෂ 24කට දෙනවා. හාල් කිලෝ දහය බැගින් දෙපාරක් දුන්නා. කාටවත් දෙන්න බැරි වුණ ඉඩම් අයිතිය ලක්ෂ 20කට දෙනවා. ජනවාරි මාසයේ 10000කින් රජයේ සේවකයන්ට පඩි වැඩි කරලා තිබෙනවා. ඊළඟ ජනවාරි වෙනකොට තවත් 10000කින් 15000කින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අපි අඩු කරනවා. නැවතත් රජයේ රැකියා දෙන්න ආරම්භ කරලා තිබෙනවා. එ හැමදෙයක්ම අපි කරලා තිබෙනවා. අලුත් ආර්ථිකයක් හදනවා වගේම ඔබේ අනාගතයත් මම ස්ථිර කරනවා.


දූෂණය වංචාව තුරන් කර පොදුජන යුගයක් බිහි කරනවා 
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට ලක්ෂ 220ක් ජනතාව දුකින් මුදාගෙන සැමට සෞභාග්‍යය සංවර්ධනය උදාකරන නව යුගයක්, දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක් නිර්මාණය කරනවා. සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මෙම ජනාධිපතිවරණයේදී නියත වශයෙන් ම ජනතාවගේ ශක්තියෙන් ගොඩනඟනවා. අද මේ සුවහසක් ජනතාව සමඟ ආදරණීය ඔබ සමඟ අත්වැල් බැඳගන්නේ කඩාවැටුණු ගරාවැටුණු අපේ දේශය, ජන ජීවිත, ගොඩනංවන්නයි. ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් පිරුණු ජීවිත මුදාගන්නා, සැමට සෞභාග්‍යය ලැබෙන සැමට සංවර්ධනය උදාකරන නව යුගයක්, දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදු ජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වනවා. පොදු ජනතාවගේ ශක්තිය තුළින් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ඉදිරියට ගෙන යනවා. රට ගොඩගත හැකි එකම උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයටයි. අපේ කණ්ඩායම රට පළමුවැනි තැනට තබලා sri lanka first කියන ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදු ජනතාව ජීවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපොළ, සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදු ජන යුගය බිහි කිරීම අප නියත වශයෙන්ම සිදු කරනවා.


රටත්, ජනතාවත් විශාල දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා
– මන්ත්‍රී අනුර කුමාර දිසානායක

මේ මැතිවරණය ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ රටේ නාමයෝජනා භාර දීම්, ඡන්ද පැවැත්වීම්, ආණ්ඩු පිහිටුවීම්, ආණ්ඩු පෙරළීම් අවුරුදු 70 ගණනක සිට සිදු වී තිබෙනවා. නමුත් අවසන් ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ රටත් ජනතාවත් විශාල දුෂ්කරතාවලට මුහුණ දීමයි.

ඒ නිසා මෙය මුදාගැනීමේ ඡන්දය බවට මෙය හඳුනාගත හැකියි. ජනතාවගේ විශාල වුවමනාවක් තිබෙනවා මෙය වෙනස් කළ යුතුයි කියලා. ඒ වෙනස් කිරීමේ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය සිදු කරන්නෙ. ඒ නිසා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්.

පිටකවරෙ බලලා කරපු දේවල්වල පල විපාක දැන් විඳිමින් සිටිනවා. ජනතාව දේශපාලනයෙන් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. මේ වෙනස ඇති කිරීමට මාධ්‍යයටත් විශාල කාර්යභාරයක් තිබෙනවා.


නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට අලුත් ගමනක් යනවා
– මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රාහී දේශපාලන පක්ෂයක් වගේම ජයග්‍රාහී දේශපාලන බලවේගයක්. මේ රටේ ජනතාවට සහ සියලුම පාක්ෂිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා, අප කෙරෙහි විශ්වාසය තැබුවාට. විශේෂයෙන්ම නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට අලුත් ගමනක් යන්න අලුත් වැඩපිළිවෙළක් සමඟ මේ රටේ දේශීය ආර්ථිකය, දේශීය චින්තනය වගේම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් තරුණ ප්‍රජාව අපේක්ෂා කරන්නා වූ රැකියා උත්පාදනය වගේම ආර්ථිකයේ ඇති විය යුතු වෙනස්කම් ඇති කරමින් මේ රට ඊළඟ පියවරට රැගෙන යෑමට අපේ පක්ෂය සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතාව අපිව ජයග්‍රහණය කරවන්න කටයුතු කරයි කියලා.


කිසිම කෙනෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කිව්වේ නැහැ
– බත්තරමුල්ලේ සීලරතන හිමි

අද දින ජනාධිපති මැතිවරණ සටනක් ආවා. ඒ සටනෙදි අපේ නාමය පිළිගත්තා. ඒ වගේම මේ දේශපාලන පක්ෂ කිසිම කෙනෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කිව්වද? මේ රට බෙදා වෙන් කරන්නෙ නැහැ කියලා කිව්වද? කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ, බයයි. මතක තියාගන්න ජනසෙත පෙරමුණ බලයට පත් වුණොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. පළාත් සභා පනත අහෝසි කරනවා. 13න් වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නැහැ. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා මෙවර ඔබගේ වටිනා ඡන්දය පිළිවෙළක් ඇතිව පැහැදිලිව ලබාදෙන්න. දැන් මේ ටිකේ ඔක්කොමලා අයියේ, අක්කේ, නංගී, මල්ලී කියලා ගෙවල්වලට එයි. ඒ කිසිම කෙනෙක් වැඩ කරලා නැහැ. තොත්ත බබාලා වගේ දැන් ජනතාවගේ ජනවරම ගන්න එනවා. ජනවරම ගන්න එනකොට ගමේ අය ඉදලක්, කොස්සක් තියාගෙන බෙදන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.


මැතිවරණ කොමිෂන් සභාව නාමයෝජනා භාර ගැනීමේදී කිසිදු විනයක් පවත්වා ගත්තේ නෑ
– මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

නාමයෝජනා භාර දීම ඉතාමත්ම සාර්ථකව සිදු වුණා. නමුත් මම කනගාටුව ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිෂන් සභාව අද නාමයෝජනා භාර ගැනීමේදී කිසිදු විනයක් පවත්වා ගත්තේ නැහැ. මීට පෙර අපි ඇවිල්ලා තිබෙනවා. අධිකරණ ශාලාවක වගේ ගාම්භීරතාවයක් ඇතිව විනය රැක්කා. නමුත් මේ වතාවේ ගමේ, ගොඩේ, කෝපි කඩේ වගේ කල්ලි කල්ලි හැදිලා කිසිම විනයක් නැහැ.

ලෝකය දකින කොට අපි ගැන හැදෙන ප්‍රතිරූපය ගැන අපිට කනගාටුවක් තිබෙනවා රටේ පළමුවැනි පුරවැසියා වෙන්න යන මිනිස්සු මෙහෙමද හැසිරෙන්නෙ කියලා. දෙවැනි එක තමයි කවදාවත් නැති විදියට එක අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන්න ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ අය කල්ලි ගැහිලා හැසිරුණා. මින් ඉදිරියට මේ කටයුතුවලදී විනය රකින්න. මොකද ජනතාවගෙන් විනය රකින්න කියලා ඉල්ලන්න පෙර අපි විනය රැකලා පෙන්වන්න ඕනෑ.

එමෙන්ම මැතිවරණ අපේක්ෂකයින් නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක, වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, පාඨලී චම්පික රණවක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර, හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක, විජිත හේරත්, හරිනි අමරසූරිය, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඉමිතියාස් බාකීර් මාකර්, නාලක ගොඩහේවා, ඩලස් අලහප්පෙරුම, රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, පක්ෂ ලේකම්වරුන්, සභාපතිවරුන්, නියෝජිතයන් ඇතුළු පිරිසක් නාමයෝජනා භාර දෙන අවස්ථාවට එක්ව සිටියහ.


රට හදන්න හොඳ නායකයෙක් ඕනෑ
– මන්ත්‍රී සරත් ෆොන්සේකා

රට හදන්න හොඳ නායකයෙක් ඕනෑ කියලා මම විශ්වාස කරනවා. එහෙම නායකයෙක් පේන්න නැති නිසා මම හිතුවා තරග කරන්න ඕනේ කියලා. ස්වාධීන අපේක්ෂකයකුට මේ වැඩේට අවස්ථාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද පසුගිය කාලෙම ජනතාව කිව්වේ 225ම එපා කියලා. මීට කලිනුත් අපි ඔළු ගොඩවල් එකතු වෙනවා නම් දැකලා තිබෙනවා. ඔළු ගොඩවල් තිබුණ පළියට රට හැදුවෙ නැහැ. මිනිස්සු රවට්ටලා කතිරෙ ගස්ස ගන්න එක තමයි ඔවුන් කරන්නෙ. ඔළු ගොඩවල්වලින් රට හදන්න බැහැ කියලා මම තේරුම් ගත්ත නිසා තමයි නිහඬව ඉන්න ජනතාව වෙනුවෙන් කතා කරන්නෙ. මම වෙනම අපේක්ෂකයෙක්. ස්වාධීනව තමයි ඉදිරිපත් වෙන්නෙ.


ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි
– දිලිත් ජයවීර

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වාගෙන යෑමට සියලු දේ සිදු කරනවා. නිදහස් හා සාධාරණව මේ කාලය ගත කරන්නට කියලා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙරට ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි. සාධාරණව මැතිවරණ සටන ගෙන ගොස් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා.

මෙරට ජනතාවට සේවය කිරීමේ අරමුණින් තමයි මම ඡන්ද සටනට පැමිණියේ. කිසිවකුගේ ඉලක්කයක් නොවන අතර, තමන් වටා ඡන්ද වැඩිම ප්‍රමාණයක් ලබා ගත් විමල් වීරවංශ මහතා ප්‍රමුඛ තරු රැසක් සිටිනවා. තරුව ලකුණින් තරග කර මාතෘ භුමිය දිනවීමට කටයුතු කරනවා.

ඡායාරූප – සුලෝචන ගමගේ දුෂ්මන්ත මායාදුන්න