මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා

– පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක්
– IMF කොන්දේසි වෙනස් කරන්න ගියොත් විහිළුවක් වෙනවා
– ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් මේ මැතිවරණයේ ඉගෙන ගන්න පුළුවන් 
– මේ වෙලාවේ වෙන විකල්ප නැහැ

රටක ස්ථාවරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් ලෙස ශක්තිමත් පාලන තන්ත්‍රයක් ඒ රට තුළ ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය. මෙහිදී රාජ්‍යයක් දුර්වල නම් එම රටේ අන්තවාදී කණ්ඩායම්වල නැඟීමක් ඇතිවෙයි. එය නැවැත්විය නොහැකි කරුණකි. එම නිසා රටකට ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත්ය. මේ සඳහා ලැබී ඇති සුවිශේෂී අවස්ථාවක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය පෙන්වා දිය හැකිය. රටේ ආර්ථික තත්ත්වය, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි මේ.

වර්තමානයේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, සමාජ සහ නෛතික යන මේ සියලු‍ ක්ෂේත්‍රයන්වල ක්‍රියාකාරීත්වය මොන වගේද ?

2022 දී පමණ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා රට බංකොලොත් කියලා. පෞද්ගලික වශයෙන් මම ඔය බංකොලොත් කියන එක නිර්වචනය කරන්නේ වෙනම විදිහකට. ඔය කියන කාලේ රටේ භාණ්ඩාගාරය හිස් වුණාට මිනිස්සුන්ගේ පොකට් එකේ සල්ලි හිස් වුණේ නැහැ. අපේ වගේ රටවල තියෙන ගැටලු‍ව තමා මිනිස්සු පොහොසත් වුණාට රට දුප්පත්. ඒකට හේතුව තමයි අපේ රටවල තියෙන මේ සුභසාධනවාදී ආර්ථිකය.

විශේෂයෙන්ම දියුණු රටවල මිනිස්සුන්ට වඩා ආණ්ඩුව පොහොසත්. ඒකට හේතුව තමයි 40% විතර බද්දක් අරගෙන ඒ බදු ආදායමෙන් තමයි රජය සහ රටේ ජනතාව රැකෙන්නේ. ඒ නිසා ඒ රටවල භාණ්ඩාගාරය පොහොසත්. සමස්තයක් විදිහට ගත්විට ජනතාවට ඉහළ ධනයක් රැස් කරන්න බැහැ, රජය විශාල බද්දක් අය කරන නිසා. අපේ රටේ එහෙම ක්‍රමවේදයක් නැහැ. සමස්තයෙන් අඩු පිරිසක් තමයි බදු ගෙවන්නේ. නිවැරැදි බදු ක්‍රමයකුත් ලංකාවේ නැහැ.

මේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට නම් මේකේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට ජනාධිපතිවරයා පත්වෙනවා. මොකද ඔහුට තියෙන වගකීමක් තමයි මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන එක. මොකද මේක කලින් රජය කරපු දෙයක් නෙමෙයි. මේක 1948 ඉඳන් හදාගෙන ආපු ප්‍රශ්නයක්. මේක අළු යට ගින්දර වගේ සැඟවිලා තිබුණ නිසා පෙනුනේ නැහැ. පවතින රජය පසුගිය වසර දෙක තුළ සෑහීමකට පත්වෙන්න පුළුවන් තරමේ දෙයක් කරා කියන එක තමයි මගේ පෞද්ගලික අදහස වෙන්නේ.

විවිධ දේශපාලන පක්ෂ පවසනවා IMF එක විසින් ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි ඉවත් කරලා ඔවුන් ඉදිරියට කටයුතු කරනවා කියලා. ඒක එහෙම කරන්න පුළුවන්ද ? ඒ හරහා ආර්ථිකයට වන බලපෑම මොන වගේද?

IMF එක සමඟ සබඳතා පටන් ගත්තේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ. ඉන්පසු වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්වීමත් සමඟ IMF එකත් එක්ක තිබුණ මූල්‍ය සබඳතා ඉදිරියට පවත්වාගෙන ගියා. ඒක ඉතාමත් හොඳ දෙයක්. මොකද අපිට මේ වෙලාවේ වෙන විකල්ප නැහැ. මුලින්ම අපි දේශීය යන්ත්‍රණය විශ්වාස කළා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. එතකොට අපිට තියෙන්නේ එකම විකල්පය තමයි විදේශීය යන්ත්‍රණය. විදේශීය යන්ත්‍රණය කියන්නේ IMF එකට යන එක. අපි දැනට ඒක කරගෙන යනවා. මීට කලින් 16 වතාවක් අපි IMF එකට ගිහිල්ලා තිබුණා. මේ 17 වෙනි වතාව. කලින් 16 වතාවම අපි බොරු කළා. මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට අපි ලොකු අමාරුවක වැටෙනවා. මොකද එහෙම සෙල්ලම් කරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි අපේ රටේ තියෙන්නේ.සාමාන්‍යයෙන් IMF එකට ගියාම රටකට විශාල පීඩනයකට මුහුණ දෙන්න වෙනවා.

ඔබ සිතන ආකාරයට ඉදිරියේදි පත්වෙන රජයක් මේ ආර්ථික ගැටලු විසඳා ගන්න IMF එකත් එක්ක ගනුදෙනු කළ යුත්තේ කොහොමද?

පවතින රජයට යම් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉස්සරහට පත්වෙන රජයක් මේ IMF එකත් එක්ක ගනුදෙනු කරනකොට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක්. ඒ නිසා මේ තියෙන වැඩපිළිවෙළ ඉදිරියටත් මේ ආකාරයෙන්ම කරගෙන යාම යෝග්‍යයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස වෙන්නේ.

රටක් තුළ අරගල විරෝධතා ක්‍රියාත්මක වන විට ආර්ථිකයට ඒ හරහා සිද්ධ කරන බලපෑම මොන වගේද?

පසුගිය කාල වකවානුවේදී මේ අරගල විරෝධතා මැඬපැවැත්වූ ආකාරය පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඒක එසේ කළ යුතුව තිබුණා. පසුගිය රජයන් තුළත් ඒවා මේ ආකාරයටම ක්‍රියාත්මක වුණා. ඒ අරගල හමුවේ රජය දැඩි අපහසුතාවන්ට පත්වුණා. එහෙම කරලා වෘත්තීය ක්‍රියාමාර්ග හරහා විවිධ වරදාන, වරප්‍රසාද ලබාගත්තා. ඔබට මතක ඇති වෘත්තීය සමිති ගෝඨාභය ජනාධිපතිවරයාගේ රජයට දැඩි බලපෑමක් කලා. වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාලවකවානුව තුළ ඒවා එහෙම කර ගන්න බැරි වුණා.

මට පෞද්ගලිකව හිතෙන ආකාරයට වැඩ වර්ජන, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග බෙල්ලටම හිර කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න එන කණ්ඩායම් හරියටම මට්ටු කිරීම මෙම වකවානුව තුළ සිදුකළා කියලා. ඒක ඉදිරියටත් කළ යුතු වෙනවා. පසුගිය ජනාධිපතිවරයා අසාර්ථක වුණෙත් ඔහුගේ තිබුණු දැඩි ප්‍රජාතන්ත්‍රවාදී සහ ධර්මිෂ්ඨ ගතිය නිසා කියන එක තමයි මගේ මතය. එම ක්‍රමය බටහිර රටකට ගැළපුණද ලංකාවට එලෙසෙම ගැළපේද යන්න ප්‍රශ්නාර්ථයක්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

අරගලයට පෙර ලංකාවේ හැම කෙනෙක්ටම ඡන්දය දෙන්න පක්ෂයක් තිබුණා. අද තියෙන ගැටලු‍ව තමයි අපි කාටද ඡන්දේ දෙන්නේ කියලා. පක්ෂයක් නෑ. බොහෝ අය අර්ථ දක්වන ආකාරයට 40% ක් විතර තියෙන්නේ පාවෙන ඡන්ද. මං හිතන විදිහට නම් 80% ක් විතරම තියෙන්නේ පාවෙන ඡන්ද. විශේෂයෙන්ම අවුරුදු 18-22 වගේ අඩු වයසේ දරුවෝ කිසිම දෙයක් තීරණය කරලා නැහැ. ඒ අයට මේ වෙනකොට දේශපාලනය පිළිබඳව කිසිම හැඟීමක් අවශ්‍යතාවක් නැති තරම්.

මගේ පෞද්ගලික මතය නම් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මේක හොඳ මැතිවරණයක් වේවි කියලා. ලංකාවේ මේ වෙනකන් තිබුණු පවුල් වාදය, තාත්තගෙන් පුතාට ආපු දේශපාලනය වෙනස් වෙයි කියලා තමයි මට කියන්න පුළුවන්.

එක පිරිසක් ඉන්නවා සම්ප්‍රදායික මත අරගෙන ඇවිල්ලම කතා කරනවා. නොමිලේ කෑම බීම බෙදනවා. මේ ක්‍රමයත් දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මිනිසුන්ට ඕන කරන්නෙ අනාගතය ගොඩනඟා ගන්න අවශ්‍ය බිළී පිත්ත දෙන නායකයෙක්. ඒවගේම ව්‍යවසායකත්ව මනසක් තිබෙන කෙනෙක්. මම පෞද්ගලිකව හිතනවා දේශපාලන පසුබිමක් නැති නමුත් සමාජය පිළිගන්නා කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත් වෙයි කියලා.

ඡන්ද ප්‍රතිඵල මොන වගේ වෙයි කියලා ද හිතන්නේ?

අද තියෙන තත්ත්වය ගත්විට මට පෞද්ගලිකව හිතෙනවා මේ සාම්ප්‍රදායික කණ්ඩායම්වලට විශාල ඡන්ද දායකයින් පිරිසක් ඉන්නවා කියලා. හැබැයි මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන ඉස්සරහට යනකොට ඔය කියන තත්ත්වය ගොඩක් වෙනස් වෙයි. ඒ එක එක දේශපාලන පක්ෂ පාවිච්චි කරන උපාය උපක්‍රම බොහෝ විට ඒවාට බලපායි කියලා. මොකද ලංකා ඉතිහාසයේ ඒ වගේ වුණ අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම පක්ෂයකම දේශපාලකයෝ කපටි කෛයිරාටිකයි. ඒ අය පාවිච්චි කරන උපාය උපක්‍රමවලට මේ රටේ ජනතාව අහුවෙනවා. එක අවස්ථාවක තහනම් සංවිධානයක නායකයෙකු කියලා තියෙනවා “මේ රටේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා”.

මැතිවරණයෙන් පසුව රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා හිතනවා ද?

ලබන මාසයෙන් පස්සේ රටට නව ජනාධිපතිවරයෙක් පත්වෙනවා. එතකොට තියෙන ගැටලුව තමයි අද තියෙන තත්ත්වය තුළ මම හිතන්නේ නැහැ ස්ථාවර ආණ්ඩුවක් පත්වෙයි කියලා. එතකොට තියෙන ගැටලු‍ව තමයි ඊළඟ අවුරුදු පහම ලංකාව බොහෝවිට දේශපාලන වශයෙන් අස්ථාවර රාජ්‍යයක් බවට පත්වෙනවා කියන එක. ඒ අවුරුදු පහෙන් පස්සේ තමයි නැවත රටට ස්ථාවර රාජ්‍යය නායකයකු බිහිවෙන්නේ. මෙතන තියෙන දරුණුතම තත්ත්වය තමයි අවුරුදු පහක් කොහොමද අපි මේ තත්ත්වය දිහා බලාගෙන ඉන්නේ කියන එක.

ඒ වගේම තමයි රටට ආයෝජකයො එන එකට විශාල බලපෑමක් ඇතිවෙනවා. ඒක නිසා ජනතාවට ලොකු වගකීමක් තියෙනවා මාළු නොදෙන බිළී පිත්ත දෙන නායකයෙක් වගේම ව්‍යවසායකත්ව මනසක් තිබෙන කෙනෙක් රටට තෝරා පත් කර ගන්න. ඒක අත්‍යවශ්‍යයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය වෙන්නේ.

ඔබ දකින ආකාරයට අපේ රටේ දේශපාලනයේ තියෙන අඩුපාඩු මොනවාද?

අපේ රටේ දේශපාලනයේ ලොකුම අඩුපාඩුව තමයි, හේතුවක් නෑ මිනිස්සු ගිහින් ඡන්දය පාවිච්චි කරනවා. මිනිස්සු මේ ප්‍රතිපත්ති දේශපාලනයට බද්ධ වෙලා නැහැ. මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න ඕනා කිසියම් ප්‍රතිපත්ති දේශපාලනයකට අනුව. එකිනෙකාගේ ප්‍රතිපත්ති සලකා බලලා තමන්ට වඩාත් ගැළපෙන ප්‍රතිපත්තියට තමයි ඡන්දය පාවිච්චි කළ යුත්තේ. එහෙම ප්‍රතිපත්ති අරගෙන ආවට එයාලා ඒවා කරන්නේ නැහැ කියලා ජනතාව දන්නේ නැහැ. මිනිස්සු ඡන්ද ප්‍රකාශ එතරම් විශ්වාස තබන එකක් නෙවෙයි. මොකද ඒකෙ තියෙන ඒවා නෙවෙයි ඔවුන් කරන්නේ. ඒ වගේම තමයි අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනය පිළිබඳ විඥානයක් නැහැ. මිනිස්සුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ හොඳ විශ්ලේෂණයක් තියෙන්න ඕනා. එක එක අයගේ ඕපදූපවලින් තීරණ ගන්නවට වඩා කරුණු කාරණා සාක්ෂි පදනම් කරගෙන තීරණ ගන්න ඕනා.

අපි අද ගන්න තීරණය ඉදිරි 05 වසරේ රටේ සංවර්ධනයට කෙසේ බලපැමක් කරනවාද?

ජනතාව හරියට බලය මාරු කළේ නැත්නම් අපිට අවුරුදු පහක් දරුණු ප්‍රතිඵල අත්විඳින්න වෙනවා. ඒක විශාල ගැටලුවක්. ඒ නිසා ජනතාව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. එසේ නොවුනොත් අපි ලොකු අමාරුවක වැටෙනවා රටක් විදිහට. IMF එකත් එක්ක ගිය වැඩපිළිවෙළ කඩාගෙන වැටෙනවා. ආයෝජකයෝ එන එකට බලපෑම් ඇතිවෙනවා. රටේ සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් තියෙන ස්ථාවරත්වය අස්ථාවර වෙනවා. ඒ වගේම රටේ අන්තගාමී, දේශපාලන, ආගමික කල්ලි කණ්ඩායම්වලට මේක හොඳ තෝතැන්නක් බවට පත්වෙනවා. ආසියාවේ එවැනි රාජ්‍යයන් තියෙනවා. අපේ රටත් එවැනි රාජ්‍යයක් බවට පත් නොවී පවත්වාගෙන යන්න නම් අපි ස්ථාවර රාජ්‍යයක් බිහි කර ගත යුතු වෙනවා.