අධිකරණ ඇමති ‘අධිකරණ පියසේ’ නිරීක්ෂණ චාරිකාවක

අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි අනෙකුත් අධිකරණයන් පිහිටුවීම සඳහා ඉදිකරමින් පවතින අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ඊයේ පස්වරුවේ එක්විය.

දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල මහල් 15කින් සමන්විත වන අතර මහල් 06ක වැඩ කටයුතු නිමවෙමින් පවතී. 2021 ජනවාරි මස 25 වන දින මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම සිදු විය. එහි සම්පූර්ණ වැඩ කටයුතු 2023 වර්ෂයේ අවසන් කිරීමට සැලසුම් කලද ආර්ථීක අර්බුදය හමුවේ ඉදිකිරීම් සිදු කිරීම මන්දගාමීව සිදු විය. මෙම අධිකරණ සංකීර්ණයේ පලමු අදියර 2024 වසරේ නිම කිරීමට සැලසුම් කර ඇත.

නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වෙමින් ගරු අමාත්‍යතුමා සඳහන් කලේ අධිකරණවල පවතින තදබදය අවම කර නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ගොඩනැගිලක් බැවින් මෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කඩිනමින් වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

කොළඹ නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ, නවීන් ශානක මහතා, අධිකරණ අමාත්‍යාංශයේ සහ මෙම ගොඩනැගිලි සංකීර්යෙහි වැඩ කටයුතු සඳහා උපදෙස් සහ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාව සඳහා එක්විය.