බංග්ලාදේශයේ ආර්ථිකයට සිදුවූ පාඩුව ඩොලර් බිලියන 450ක් බවට තක්සේරුවක්

ජූලි මස මැද භාගයේ සිට අගෝස්තු මස මුල් භාගය දක්වා සති තුනක කාලයක් පුරා බංග්ලාදේශයේ පැතිරී ගිය විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 450ක විශාල පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිරී යෑමෙන් පසු, දින නියමයකින් තොරව ඇඳිරි නීතිය පැනවීමෙන් අපනයන ආදායම මුළුමනින්ම කඩාවැටීමත්, රට තුළ නිෂ්පාදන පද්ධතිය නවතා දැමීමට සිදුවීමත් ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විරෝධතාකරුවන් විනාශ කළ දේපළවල වටිනාකම ද තක්සේරුවට ලක් කරන්නේ නම් සිදුවූ පාඩුව තවත් ඉහළ යනු ඇතැයි බංග්ලාදේශයේ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අහ්සාන් මන්සූර් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එම තත්ත්වය මත දිගු කාලසීමාවක් කර්මාන්තශාලා වසා දැමීමට සිදුවී තිබූ අතර, ආනයන අපනයන කටයුතු, කෘෂිකාර්මික නිෂ්පාදන, වරායෙන් භාණ්ඩ මුදා හැරීම අඩපණ වීම ඇතුළු කරුණු රැසක් එරට ආර්ථිකය කඩාවැටීමට හේතු වී තිබූ බවත් වාර්තා වේ.