පුද්ගල ආදායම් බද්දට ජනපතිගෙන් සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති යෝජනාවත් සලකා බලමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පරාසය පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව, විද්වතුන් ඇතුළු මධ්‍යම පාන්තික ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ “සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පරිවර්තනය කිරීම” යන තේමාව යටතේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින්.

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබාදීමේ වැදගත්කමද අවධාරණය කර තිබෙනවා.