අද සිට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අකුරට වැඩ

2016 වසරේ සිට මේ දක්වා වරින් වර සිදුකළ ඉල්ලීම් හා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් 15 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අවධාරණය කර තිබෙනවා.

මහනුවරදී අද (14) දින මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා මේ බව සඳහන් කර සිටියා.

තම ඉල්ලීම්වලින් 80% පමණ කිසිදු හෝ මුදලක් වැය නොකොට විසඳීමට රජයට හැකියාව තිබියදී ඉටු නොකර දිනෙන් දින කල් ඇරීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවයි වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, තනතුරු නාම වෙනස් කිරීම ඇතුළු තම ඉල්ලීම් බහුතරයක් ක්‍රියාත්මක කිරීම දිනෙන් දින ප්‍රමාද කර සිටීමෙන් අහිතකර ඵල විපාක ඇති වන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.