කටුනායක දිගු වීසා පෝලිම්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇතිව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන්තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙසද නියෝග නිකුත් කර තිබුණි.

එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා (Online Visa) නිකුත් කිරීම ආරම්භ කර නොමැති නිසා මේ ආකාරයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා (On Arrivel Visa) ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇති වී තිබේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමඟම මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඇන හිටි අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලුම දෙනාට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා (ON Arrivel Visa) ලබා ගැනීම එකම විසඳුම බවට පත් වී තිබේ.

මෙම අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක සමය ආරම්භ වී පැවතීමත්, විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමටත් විශාල වශයෙන් විදේශීය සංචාරකයෝ කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

ඔවුන් සහ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා එක්වර, විශාල සංඛ්‍යාවක් පැමිණෙන අවස්ථාවලදී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා (On Arrivel Visa) ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇතිවීම නිරන්තරයෙන් ඇතිවීම නිසා විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවට ලක්වී තිබේ.