කෝටි හතරක රන් බිස්කට් කටුනායකින් කොටුවෙයි

රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16 ක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු  අද (13) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි ගාල්ලේ පදිංචිකරුවෙකි

මෙම පුද්ගලයා නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන ව්‍යාපාරිකයෙක් බව අනාවරණය වී තිබෙයි

ඔහු අද උදෑසන 06.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ තම සිරුරෙහි එල්ලා ගෙන යන පැති බෑගයක ( Side Bag ) සහ ගුවන් තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති ” ට්‍රොලි ” කරත්තයක් යට අලවා ගෙන මෙම රත්තරන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02 ක් ලෙස සකස් කර , සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මේ වනවිට මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරයි.