කුණු කන්දක් නාය යෑමෙන් උගන්ඩාවේ 21ක් මරුට

උගන්ඩාවේ කම්පාලා අගනුවරට යාබදව පිහිටි විශාල කුණු කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 21 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුණු කන්ද නාය යෑමකට ලක්වී ඇත්තේ මේ දිනවල උගන්ඩාවට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බව එරට රජය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. කුණු කන්ද නායයෑම සිදුවී ඇත්තේ පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේදී බවත්, ඒ වන විට කුණු කන්ද අසල පදිංචිකරුවන් නින්දේ පසුවීම මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව බවත් ආපදා මෙහෙයුම් කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

මේ අනතුරින් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. නිවාස සහ ගොඩනැඟිලි යට කරමින් නාය ගිය කුණු කන්දේ සුන්බුන් අතරට යටවී සිටින පුද්ගලයන් සොයා මේ වනවිටත් කැණීම් කටයුතු සිදුවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එහෙත් කුණු කන්ද යට සිරවී සිටින බවට අනුමාන කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තා නොවන බව ද සඳහන් වේ.