රතු කකුළු පැටවුන් දහස් ගණනකගේ කටු වෙරළට ගොඩ ගහලා

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුළු පැටවුන් දහස් ගණනක් මියගොස් කකුළු කටු වෙරළ තීරයට ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.

ඇතැම් ස්ථානවල කිලෝමීටර් තුනක් පමණ දුරට මෙම කකුළු මළ සිරුරු දැක ගන්නට හැකියාව ඇත. හදිසියේම රතු කකුළු පැටවුන් මේ අන්දමට මියයාමට හේතුවක් නිශ්චය වශයෙන් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ධීවර පරීක්ෂක නිලධාරීහූ සඳහන් කරති. මේ තත්ත්වය ක්‍රමයෙන් මුලතිව් මුහුදු වෙරළ දිශාවටද ළඟා විය හැකි බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව වෙත වාර්තා කොට ඇත.

මෙම තත්ත්වය ගැන සොයා බැලීමට නාරා ආයතනයේ නිලධාරීන් පිරිසක් ඊයේ (11) ත්‍රිකුණාමලය වෙත කොළඹින් පිටත්ව ගොස් තිබුණි. සිය ආයතනයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන පරික්ෂණවලින් අනතුරුව මෙම තත්ත්වයට හේතුව සඳහන් කළ හැකි වනු ඇති බව නාරා ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.