තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගු රියදුරු නිසා එක් අයෙක් මරුට තවත් අයෙකුට බරපතළයි

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයේ දකුණුපසින් ඉවතට පැන බස් නැවතුමේ සිටි තිදෙනෙකුට යටකරමින් වෙළෙඳසැලකට කඩාවැදීමෙන් අද(12) දහවල් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 පුද්ගලයෙකි

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා  අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු   ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

දවල් ආහාරය ගැනීමෙන් පසු එක් පුද්ගලයෙකු විටක් මිළ දී ගැනීමට පාරේ අනිත් පස ඇති කඩයකට ගිය සිටි අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි බස් රථය පිරිස යට කරගෙන වෙළඳ සැලට කඩා වැදී තිබෙයි

අනතුර සිදුවන  අවස්ථාව  වන විට මස් වෙළඳසැල වසා දමා එය පවත්වාගෙන යන පුද්ගලයා නිවස කරා පිටත්ව ගොස් තිබූ හෙයින් ඔහුගේ දිවි අනූ නවයෙන් බේරී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ  රියදුරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බස් රථය එකවරම දකුණට කැපුණු බවත් එම අවස්ථාවේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත් ප්‍රකාශ කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි