- වගා හානිවලට මුදල් ගෙවීමටත් පියවර
කෘමි වසංගත හා ගංවතුර හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 7686ක වගා හානි වාර්තා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙයින් ගංවතුර නිසා හානියට පත් කුඹුරු ඉඩම් ප්රමාණය හෙක්ටයාර් 2908කි.රෝග හා පලිබෝධ හානි නිසා හෙක්ටයාර් 4778ක වී වගාව හානියට පත් වී ඇත. මේ වගා හානි වැඩිපුරම වාර්තා වන්නේ ත්රිකුණාමලය,අම්පාර,පුත්තලම සහ රත්නපුර දිස්ත්රික්කවලිනි.
යල කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතින් කැඳ වූ වාර්තාවක මේ තොරතුරු අනාවරණය වී තිබේ.ඒ අනුව මේ වනවිට යල කන්නයේ වගා හානි වාර්තා වූ ප්රදේශවලට වගා හානි කඩිනමින් ගෙවීමට පියවර ගන්නැයි ඇමැති අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත.
බොහෝ ප්රදේශවල තවමත් අස්වනු නෙළමින් පවතින බැවින් අස්වනු නෙළීම අවසන් වූ වහාම වගා හානි සඳහා මුදල් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබේ.
වගා හානි එසේ වූවද මෙවර යල කන්නයේ වගා කළ සමස්ත කුඹුරු ප්රමාණය වන හෙක්ටයාර් 480,000කින් වී මෙට්රික් ටොන් ලක්ෂ 20ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය මින්පෙර යල කන්නවලට සාපේක්ෂව ඉහළ අස්වැන්නකි.මින් පෙර යල කන්නවල දී ලද වී අස්වැන්න මෙට්රික් ටොන් මිලියන 1.5ක් පමණ වේ.වගා කරන ලද වපසරිය අනුව සමස්ත වී වගා කළ කුඹුරු ප්රමාණයෙන් සියයට 77ක් නාඩු වී වර්ග ද, සියයට 11ක් සම්බා වී වශයෙන් ද, සියයට 12ක් කීරි සම්බා වශයෙන් ද වගා කර ඇත.