ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය ඇමැති ධුරවලින් ඉවත් වී තිබේ.
මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැති ධුරයේ කටයුතු කළ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් ඇමැති ධුරයේ කටයුතු කළේය.
ඊයේ (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, ඇමැති ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවයි. මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.
මෙහිදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ රට ගොඩගත්තාට සුබ පැතීම වෙනුවට වත්මන් ආණ්ඩුවට එක් වීම හේතුවෙන් ඇමැති ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බලවේගය ප්රමුඛ සජිත් ප්‍රේමදාස බවයි. ලංකා ඉතිහාසයේ ශත වර්ශ ගණනාවකට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරවනු ලැබුවේ පසුගිය වසර දෙක බව පෙන්වා දුන් ඒ මහතා, ඒ වැඩ කළ වර්ෂ දෙක වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ආඩම්බරයෙන් ස්තුති කරන බවද රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බලවේගය බවද පෙන්වා දුන්නේය. සජිත් ප්‍රේමදාස මහතාට රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නොවූ බවද රටට ආදරය කරන මිනිහෙක් නම් රටට කරන සේවයට ස්තුති කළ යුතුව තිබූ බවද කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, තමා මන්ත්‍රී වුණේ සජබ ජාතික ලැයිස්තුවෙන් බවත් සජිත් ප්‍රේමදාස මහතාට තම ස්තුතිය පිරිනමන බවත් ය. මේ රටේ මිනිසුන්ට යමක් කරන්න හැකි වුණේ එම මන්ත්‍රී ධුරයෙන් බව පෙන්වා දුන් ඒ මහතා, අධිකරණයට අපි අපහාස, චෝදනා නොකරන බවද මේ රටේ නීතියක් තිබෙන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ වම්, දකුණු අත් ගලවන විට ඔහු නිහඬ බවද පැවසීය.