වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ අලි ගහනය පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණය මෙම මස 17, 18 සහ 19 තෙදින තුළදී සිදු කෙරේ.
රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.
මෙම සමීක්ෂණයේදී දත්ත රැස්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයන්, පුද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයින්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්වකැමැත්තෙන් සහභාගි වන්නන් යොදාගනු ලබයි. ඔවුන් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදීමට කටයුතු කර ඇති අතර එහිදී අදාළ කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳව නිරන්තරව සොයා බලන අතර ඔවුන්ට අවශ්‍ය අනෙකුත් අවම පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව ද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එමෙන්ම මෙසේ රැස්කරනු ලබන දත්ත විධිමත් විශ්ලේෂණයකට ලක් කිරීම මඟින් අලි සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව ද අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි. රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීම හා පවත්නා රක්ෂිත ප්‍රදේශවල තත්ත්වය ඉහළ නැංවීම, වන අලි – මිනිස් ගැටුම මැඬලීම සඳහා උපායමාර්ගික සැලසුම් පිළියෙල කිරීම හා යාවත්කාලීන කිරීම, සංවර්ධන කටයුතු හා සංරක්ෂණ අවශ්‍යතා අතර තුලනය තහවුරු කිරීම, අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට ඇති සංරක්ෂණ වගකීම් සම්බන්ධයෙන් ඇති කැපවීම තහවුරු කිරීම හා ශ්‍රී ලංකාවේ අලි ගහනයේ ඉදිරි පැවැත්ම පිළිබඳ පුරෝකථනයන්ට එළැඹීම වැනි ඉලක්ක හා අරමුණු සඳහා යොදා ගැනීමට දත්ත හා තොරතුරු රැස්කර ගැනීමට හැකිවීම අලි ගහනය පිළිබඳව සමීක්ෂණයක අරමුණ සහ වාසි අතර වෙයි.
දීපව්‍යාප්ත අලි ගහන සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදී ය. එම සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5879ක් ලෙසත් එම ගහනයේ 55.09% ක් වැඩිහිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැටවුන් ද 6.04% ක් ළදරු අවස්ථාවේ සතුන් ද වූ බව වාර්තා වී ඇත.
ආසියානු අලියා (Elephas maximus) වාසය කරන සීමිත රටවල් සංඛ්‍යාව අතුරින් එකක් වන ශ්‍රී ලංකාව, මෙරට අලින්ගේ සංරක්ෂණය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇත.