ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සීසීසී ක්රීඩා සමාජය සහ එස් කැපිටල් ක්රීඩා සමාජය අතර හෙට (11) පෙරවරු 9.45ට එස්එස්සී ක්රීඩාංගණයේදී පැවැත්වේ.
සීසීසී පිල ලක්ෂාන් සඳකැන්ගේ නායකත්වයෙන් තරග වදින අතර, ඒස් පිල තනුක දාබරේගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි.
කණ්ඩායම් 18ක් කාණ්ඩ දෙකකින් එක් වූ මේ තරගාවලියේ මූලික වටයේදී ‘බී’ කාණ්ඩයේ අපරාජිතයන් වූ සීසීසී පිල අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ ශූරයන් වූ එස්එස්සී පිල කඩුලු 8කින් පරාජය කරමින් අවසන් තරගයට එක් විය.
ඒස් කැපිටල් පිල ‘බී’ කාණ්ඩයේ පෙරමුණගත් අතර, අවසන් පූර්ව වටයේදී මුවර්ස් පිල ලකුණු 89කින් පරාජය කර අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තේය.
පසුගිය වසරේ සීසීසී පිල තරගාවලියේ මූලික වටයේ සිව්වැනි ස්ථානයෙන් නිමා කර තිබූ අතර, ඒස් පිල මේ තරගාවලියකට අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේ තරගාවලියේදී ඔවුන් ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි.
මේ දක්වා පැවති තරගවලින් පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් පෙරමුණ ගැනීමට තම කණ්ඩායමේ ක්රීඩකයන් සමත්ව සිටීම අද තරගයේදී සීසීසී පිලට අමතර වාසියක් වනු ඇත. අවසන් පූර්ව තරගයේදී ‘ඒ’ කාණ්ඩයේ තරගවල සිය හොඳම ඉනිම (157) ක්රීඩා කළ පවන් රත්නායක ලකුණුලාභීන් අතර පෙරමුණ ගෙන ඇත්තේ තරග 9කදී ශතක 3ක් සමඟ ලකුණු 489ක් රැස් කරමිනි. ඔහු මෙවර තරගාවලියේ වැඩිම ශතකලාභියා ද වන අතර, පිතිකරුවන් 7 දෙනකු ශතකයක් බැගින් රැස් කර ඇත. චතුරංග ද සිල්වා තරග 6කදී කඩුලු 18ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගනිද්දී ඒස් පිලේ වනුජ සහන් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ තරග 8කදී කඩුලු 16ක් බිඳ දමමිනි.