වලසකු පහරදීමෙන් අඹුසැමි යුවළක් රෝහලේ -නිර්වින්දනය කර අල්ලාගත් වලහා ගිරිතලේ කැලයට

දියබෙදුම කෝඳුරුවාව ගම්මානයට ඊයේ (06) අලුයම කඩා වැදුණු වලසෙකු අඹුසැමි යුවළක් හපාකා තුවාල කර ඇති අතර ඔවුන් දෙපළ පොලොන්නරුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දියබෙදුම පොලිසිය පවසයි.

වලසකු හපා කෑමෙන් තුවාල ලබා ඇත්තේ දියබෙදුම කෝඳුරුවාව යාය 31 ගම්මානයේ පදිංචි එස්.ඩී. දයාරත්න නමැති 64 හැවිරිදි අයකු සහ ඔහුගේ බිරිය වන 54 හැවිරිදි එම්.ජී. පොඩි මැණිකේ නමැති යුවළකි.

මෙම තුවාලකරුවන්ට අමතරව තවත් පුද්ගලයකු වලහා හපාකා ඇති බවද වාර්තා වේ.

ගම්මානයට වලසුන් දෙදෙනකු පැමිණි බවද එක් වලසකු කැලෑවට පලාගිය බවද කෝඳුරුවාව ගම්වැසියන් පවසයි.

වලහා හපාකෑමෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළ දියබෙදුම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලොන්නරුව මහ රෝහලට අතුළත් කර ඇත. ගම්මානයේ සැරිසරන වලහා ගිරිතලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් හා දියබෙදුම පොලිසියේ නිලධාරීන් එක්ව වලහා නිර්වින්දනය කර අල්ලා කැලෑවට මුදාහැර තිබේ.