තරවටු කළැයි සිත් තැවුලින් දියණිය දිවි නසාගනී

සාස්තරකාරියගේ අනාවැකි විශ්වාස කර ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස මව්පියන් කළ බලකිරීමකට සිත් තැවුලට පත්ව යළි කිසිදිනක සාස්තරකරුවන් පසුපස නොයන ලෙස සහ මළ ගෙදරට එන පිරිසට හොඳින් සංග්‍රහ කරන ලෙස ලිපියක් ලියා 17 හැවිරිදි පාසල් සිසුවියක් පසුගියදා (04) රාත්‍රියේ සිය නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව රක්වාන පොලිසිය සඳහන් කළේය.මෙලෙස මියගොස් ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි රක්වාන අලවත්තැන්න ප්‍රදේශයේ පදිංචි දවුල්කාරගේ කාවින්දි ප්‍රදීපා දර්ශනී නමැති සිසුවියකි. ඇය දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා බව ද පොලිසිය පැවසීය.

පෙර පාසල් යන ඇගේ බාල නැගණියට පසුදින පවත්වන සිඟිති පොළට රැගෙන යෑමට අවශ්‍ය බඩුබාහිරාදියද ඇය විසින්ම එදින සන්ධ්‍යාවේ එකතු කර තබා ඇති බව ද පැවසේ.

මේ දැරියගේ සියදිවි හානි කර ගැනීම පිළිබඳ පරීක්ෂණ කළ පොලිසිය පැවසුවේ ඇය මිය යෑමට මොහොතකට පෙර එක් අතක් යම් උපකරණයකින් කපාගෙන ඉන් පිටවන ලේ බින්දු සුදු කඩදාසියක තවරා එහි පින්තූරයක් ඇගේ පෙම්වතා බව පැවසෙන තරුණයාගේ ජංගම දුරකතනයට යවා ඇති බවයි. ඇය අවසන් වරට ලියූ බවට සැක කරන පිටු දෙකකින් සමන්විත වූ ලිපියක්ද හමුවූ බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධව විමර්ශන කළ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මියගිය දැරිය ඇය පදිංචි ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබී ඇති බවයි. එම ප්‍රේම සබඳතාව නවතා දමන ලෙස ඇයට මව්පියන් නිතර නිතර පවසා ඇත. මේ අතර දින තුනකට පෙර දැරියගේ මව තමන් දන්නා හඳුනන සාස්තරකාරියක හමුවීමට ගොස් දියණිය පවත්වාගෙන යන ප්‍රේම සබඳතාව ගැන විස්තර පවසා ඇත. එහිදී සාස්තරකාරිය පවසා ඇත්තේ මේ ප්‍රේම සබඳතාව දිගටම පැවතියොත් දැරියගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවකි. සාස්තරකාරියගේ අනාවැකි විශ්වාස කළ මව ඒ මොහොතේ සිට මියගිය දැරියට බල කරමින් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාව නතර කර දමන ලෙසයි.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පැවති අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි මත මේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව නිගමනය කර ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය දැරියගේ අවසන් කටයුතු අද (07) අලවත්තැන්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.