වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප ගැන 30කගෙන් සාක්කි ගනී

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය තුළදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සූදානම් කර තිබියදී එහි නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අදාළ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සූදානම් කර තිබියදී එහි පැමිණ සිටි වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

ක්ලබ් වසන්ත ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් එම වෙඩි තැබීමෙන් සුළු මොහොතකට පෙර විකාශය වීම සම්බන්ධයෙන් ද අතුරුගිරිය පොලිසිය විමර්ශනයක් සිදු කරනු ලබයි. ආරක්ෂක කැමරාවල සටහන් වූ එම දර්ශන මාධ්‍ය ආයතනවලට ලැබීම සම්බන්ධයෙන් එදින මෙම වෙඩි තැබීම වාර්තාකරණය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.