මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක් ඉදිරියේදී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සමග පසුගියදා පැවති හමුවකදීයි.

එහිදී විවිධ වෙළෙඳනාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකරනවා වෙනුවට එක් නාමයක් භාණ්ඩ එකක් හෝ කිහිපයක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ සුවිශේෂීකරණය වීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා විසින් පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම වෙළෙඳ, අධ්‍යාපන, කිරි කර්මාන්තය හා ක්‍රීඩා යන අංශයන් ආශ්‍රිතව දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා පුළුල් කිරීම පිළිබඳව ද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ වටිනා සංස්කෘතිකාංග හා ඉතිහාසයක් සහිත රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බවයි.