අම්පාර, බංඩාරදුව පොලිස් බලප්‍රදේශයේ නවගිරියාව ගම්මානයේදී කුඹුරක වී අස්වනු නෙළීමෙන් පසු පිදුරුවලට ගිනි තැබීමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවී මියගොස් තිබේ.

පෙරේදා (05) සවස මෙම සිදුවීම වී ඇති අතර, කුඹුරට ගිය කාන්තාව නැවත නි‍ෙවසට නොපැමිණීම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදී ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවී තිබේ.

පසුව පවුලේ ඥාතින් විසින් මේ පිළිබඳව බංඩාරදුව පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර, බංඩාරදුව පොලිසිය මඟින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නවගිරියාව ගම්මානයේ පදිංචි ඩබ්.එම්. බංඩාර මැණිකේ නමැති 73 හැවිරිදි කාන්තාවකි.

මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා බංඩාරදුව පොලිස් ස්ථානය මඟින් අම්පාර අපරාධ පරීක්ෂණ නිලධාරීන් වෙත දැනුම් දී ඇති අතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.