හසීනා රටින් පලා යද්දී විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවත් අල්ලති -සන්සුන් වන්නැයි හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඩකා අගනුවර අගමැති නිල නිවෙස වටකිරීමෙන් පසු අගමැතිනි ශෙයික් හසීනා තනතුරින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් සොයා රටින් පලා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දහවල් ලක්ෂ 4කට අධික අතිවිශාල ජනකායක් අගමැතිනියගේ නිල නිවෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් එම භූමියට ඇතුළු වීමට පොලිසිය හා හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමත් සමඟ 76 හැවිරිදි අගමැතිනිය ජීවිත ආරක්ෂාව සඳහා සිය සොහොයුරිය සමඟ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මඟින් පලා ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 15ක් පුරා අගමැති ධුරයේ රැඳී සිටි ශෙයික් හසීනා රටින් පිටත්වීමෙන් මොහොතකට පසු බංග්ලාදේශ යුද හමුදාපතිවරයා ජාතිය ඇමතූ බවත්, අගමැතිනිය ධුරයෙන් ඉවත් වූ බව තහවුරු කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වේ. අන්තර්වාර රජයක් පිහිටුවීමට ජනාධිපති මොහොමඩ් ශහාබුඩීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එහෙත් හමුදාපතිවරයාගේ කතාව තුට්ටුවකටවත් මායිම් නොකළ විරෝධතාකරුවන් අගමැති නිල නිවෙස තුළට කඩා වැදී දැඩි අලාභ හානි සිදු කර ඇතැයි ද, ඇතැමුන් එහි තිබූ වටිනා දේපළ මංකොල්ල කෑමට පටන් ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් නොනැවතුණු විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේදී ඩකා අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට ද කඩා වැදී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි අසුන් ගනිමින්ද, දුම් පානය කරමින් ද පාර්ලිමේන්තුව ගර්භයට දැඩි අලාභහානි සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලයේ ‘වයිරල්‘ වෙමින් පවතින අතර, තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය හා හමුදාව අසමත් වී ඇතැයිද වාර්තා වේ.

මේ අතර රටින් පලා ගිය අගමැතිනිය සහ ඇගේ සොහොයුරිය රැගත් හෙලිකොප්ටරය බංග්ලාදේශයට නැඟෙනහිරෙන් පිහිටි ඉන්දීය දේශසීමාව අසල ට්‍රිපූරා ප්‍රාන්තයේ අගර්ටාලා නුවරට ගොඩ බැස ඇතැයි පසුව නිල නොවන ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඇය සිය සොහොයුරිය සමඟ ඩකා නුවරට යාබදව පිහිටි කුර්මිටෝලා නුවර ගුවන් හමුදා කඳවුර වෙත ගිය බවත් නිල නොවන තවත් වාර්තාවකින් සඳහන් වේ. එතැන් සිට ඇය වෙනත් රටකට යනු ඇතැයි ද අනුමාන කර ඇත. කෙසේ වුවද ඇය අගමැති ධුරයෙන් ඉවත්වූ බවට නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නැති බවත්, රටින් පලා යෑමට පෙර සිය කතාව පටිගත කිරීමට උත්සාහ කළ ද, ඊට ඉඩක් නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

රජයේ රැකියා කෝටාව මුල් කරමින් පසුගිය මාසයේදී එරට සරසවි සිසුන් ගෙන ගිය මාරාන්තික අරගලය පසුව රජයේ රැකියා කෝටාවේ වැඩි ප්‍රතිශතකයක් සරසවි සිසුන් වෙනුවෙන් වෙන් කළ යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ අවසන් වුවද අගමැතිනිය තනතුරෙන් ඉවත් විය යුතු බව කියමින් මීට දින දෙකකට පෙර යළි විරෝධතා ආරම්භ වී තිබිණි. රජයේ ආයතන හා පොදු ප්‍රවාහන බස් රථ ගිනි තබමින් ද, පොලිස් නිලධාරින්ට පහර දෙමින් ද සරසවි සිසුන් ඇතුළු තරුණ කණ්ඩායම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත් බවත්, පොලිස් නිලධාරීන් 13 දෙනකු ඇතුළුව 98 දෙනකු ගතවූ දින දෙක ඇතුළත ජීවිතක්ෂයට පත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දින නියමයකින් තොරව රට පුරා ඇඳිරි නීතිය පැනවීමට අගමැතිනිය පියවර ගනු ලැබුවද, ඊයේ දහවල් ඩකා අගනුවර සහ අගමැතිනියගේ නිල නිවෙස වැටලීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එරට සෑම නගරයකින්ම අගනුවර වෙත සේන්දුවීමට පටන්ගත් බවත්, තත්ත්වය බරපතළ වීමෙන් පසු රටින් පලා යෑමට අගමැතිනියට සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

ඩකා අගනුවරට යොදා තිබූ දැඩි ආරක්ෂක රැකවල් බිඳ දමමින් ඇඳිරි නීතිය නොතකා නගරයට ඇතුළු වූ ජනතාව පාලනය කිරීමට හමුදාව සහ පොලිසිය අසමත් වීමත් සමඟ අගමැතිනියට ධුරයෙන් ඉවත්වන ලෙස එරට හමුදාපතිවරයා ඉල්ලීමක් කර තිබූ බව ද වාර්තා වේ. ඒ සඳහා මිනිත්තු 45ක කාලයක් ලබා දී තිබූ බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් ගතවූ දින දෙක ඇතුළත සරසවි සිසුන් ගෙන ගිය විරෝධතාවට එරට සිනමා නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් ද එක්වූ බව සඳහන් වේ. අවසන් මොහොතේදී විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව අගමැතිනිය දැනුම් දීමක් කර ඇතැයි ද, එම යෝජනාව විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ශෙයික් හසීනාගේ ඉවත්වීමත් සමඟ බංග්ලාදේශයේ සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඩකා අගනුවර සහ තවත් නගර රැසක සතුට සැමරීමට පටන් ගෙන තිබූ බව ද වාර්තා වේ. පසුගිය මාසයේ සිට මේ දක්වා බංග්ලාදේශයේ උද්ගත වූ විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 300කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබිණි.