‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ 16 සිට 18 දක්වා කොළඹදී

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව ඩයලොග් ආසියාටා සමාගම විසින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024‘ ජාතික ක්‍රීඩා සැණකෙළිය මේ මස 16 වැනිදා කොළඹදී ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වෙන දැවැන්තම ජාතික ක්‍රීඩා සැණකෙළිය මෙය වන අතර, දකුණු ආසියාවේ මෙවැනි සැණකෙළියක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ. ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ බාස්කට්බෝල් වැනි මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩා හතකින් සමන්විත මේ සැණකෙළිය ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ. මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තුන්දහසකට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සැණකෙළියේ ක්‍රිකට් තරග බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් පිටියේ පැවැත්වෙන අතර, රග්බි සහ පාපන්දු තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිතය. වොලිබෝල් තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ සහ නෙට්බෝල් තරග ටොරින්ටන් පිටියේදී පැවැත්වීමට නියමිතය. හොකී තරග පැවත්වීමට නියමිතව ඇත්තේ කෘත්‍රිම හොකී පිටියේදී වන අතර, බාස්කට්බෝල් තරග 3×3 ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.